Home » මුහුණට මුහුණ

මුහුණට මුහුණ

( නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ගම්පහ දිස්ත්‍රික් අපේ­ක්ෂක ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රික වීර­සූ­රිය බණ්ඩාර සහ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ, ගම්පහ දිස්ත්‍රික් අපේ­ක්ෂක සාලිය සරත් කුමාර )

by Gayan Abeykoon
November 7, 2024 1:07 am 0 comment

 

මම දේශ­පා­ල­න­යට අලු­තින් ආව කෙනෙක් නොවෙයි

නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ගම්පහ දිස්ත්‍රික්  අපේ­ක්ෂක ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රික වීර­සූ­රිය බණ්ඩාර

 

රනිල් වික්‍ර­ම­සිංහ මහතා නාය­ක­ත්වය ලබා දුන් කණ්ඩා­යම අද මැති­ව­ර­ණ­යට තරග කරන්නේ නැහැ, එය නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණට බල­පාන්නේ කුමන ආකා­ර­යට ද?

රනිල් වික්‍ර­ම­සිංහ මහතා නාය­ක­ත්වය ලබා­දීම ඉතා­මත් හොඳ දෙයක්. ජන­තාව රනිල් වික්‍ර­ම­සිංහ මහතා පිළි­බ­ඳව විශ්වා­සය තබා තමයි ඡන්දය ලබා දුන්නේ. රට අස්ථා­වර වීම නවතා, රට යම් ස්ථාවර තැන­කට පත් කරනු ලැබුවා. රනිල් වික්‍ර­ම­සිංහ මහතා රට ස්ථාවර කිරීම සහ කඩා වැටුණු රට නැවත ස්ථාවර කිරී­මට සමත් වුණා. ඒ  සඳහා රනිල් වික්‍ර­ම­සිංහ මහතා මූලික කර­ගත් කණ්ඩා­යම විශාල කාර්ය­යක් ඉටු කළා. අද නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ ලෙස එක්ව තරග කරන්නේ ඒ කණ්ඩා­ය­මයි.

 සම­හරු කියන්නේ දේශ­පා­ලන බලය වෙනු­වෙන් විවිධ පාර්ශ්ව එකතු වූ පිරි­සක් මෙම පෙර­මුණේ සිටින බවයි.?

ඒ තර්කය වැර­දියි. මේ පෙර­මුණ තුළ සිටින්නේ රාජ්‍ය පාල­නය, දේශ­පා­ල­නය පිළි­බඳ ඉතා­මත් ඉහළ අත්දැ­කීම් සහිත පිරි­ස­කුයි. ඒ පිරි­සට නාය­ක­ත්වය ලබා දෙන්නේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යකු වන රනිල් වික්‍ර­ම­සිංහ මහ­තායි. ඒ නිසා මෙම පෙර­මු­ණට තමයි හොඳම අපේ­ක්ෂක කණ්ඩා­යම සිටින්නේ. ඒ වගේම සම­බර අපේ­ක්ෂක පිරි­සක් සිටින දේශ­පා­ලන පක්ෂ­යක් විදි­හ­ටත් හඳු­න්වන්න පුළු­වන්. ගම්පහ දිස්ත්‍රි­ක්කය උදා­හ­ර­ණ­ය­කට ගනිමු.  ගම්පහ දිස්ත්‍රි­ක්කයේ අපේ කණ්ඩා­යම තුළ දේශ­පා­ල­නය පිළි­බඳ හොඳ අත්දැ­කීම් තිබෙන පිරිස් වගේම විවිධ වෘත්තීය ප්‍රවී­ණයෝ සිටි­නවා. ඒ නිසා නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ කියන්නේ පාර්ලි­මේ­න්තුව තුළ හොඳ කාර්ය­භා­ර­යක් ඉටු කළ හැකි පිරි­සක් සිටින කණ්ඩා­ය­මක්. ජන­තාව තුළ ඒ විශ්වා­සය ගොඩ­නැ­ඟෙ­මින් තිබෙ­නවා. ලබන සතියේ තිබෙන මහ­මැ­ති­ව­ර­ණ­යේදී ඒ විශ්වා­සය ජන­තාව අප පෙර­මුණ වෙත පළ කරනු ඇතැයි මා හිත­නවා.

 නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ කියන්නේ එක්සත් ජාතික පක්ෂ­යම කියලා සම­හරු කිය­නවා?

ඒක වැරදි අද­හ­සක්, ඇත්තෙන්ම නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ කියන්නේ ප්‍රග­ති­ශීලි පක්ෂ සහ කණ්ඩා­යම් රැසක එක­තු­වක්. මෙර­ටට විශාල සේව­යක් ඉටු කළ නාය­ක­යන් නාය­ක­ත්වය දැරූ  ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ද අද නියෝ­ජ­නය කරනු ලබන්නේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ එක් පාර්ශ්ව­යක්. එවැනි හොඳ පිරි­සක් එක්සත් ජාතික පක්ෂය නියෝ­ජ­නය කරන්නේ. ඇත්තෙන්ම රට වෙනු­වෙන් විශාල වැඩ ප්‍රමා­ණ­යක් ඉටු කළ හැකි පිරි­සක් තමයි නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ නියෝ­ජ­නය කරනු ලබන්නේ. ඒ නිසා තමයි අප ඉල්ලා සිටින්නේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ නියෝ­ජ­නය කරනු ලබන පළ­පු­රුදු, දක්ෂ, උගත් කණ්ඩා­ය­මක් පාර්ලි­මේ­න්තුව වෙත පත්කර එවන ලෙස. ඒ සඳහා ජන­තාව වෙත දැන් අව­ස්ථාව උදා­වෙලා තිබෙ­නවා.

දේශ­පා­ලන කට­යුතු සඳහා අත්දැ­කීම් සහ පළ­පු­රුද්ද තිබෙන පිරි­සක් පත් කර එවන ලෙස සිදු කරනු ලබන ඉල්ලී­මට තිබෙන පද­නම කුමක්ද?

දේශ­පා­ල­නය තුළ කට­යුතු කරද්දි හොඳ අත්දැ­කීම් තිබෙන්න ඕනෑ. එහෙම නැතිව ආධු­නික පිරි­ස­කට පම­ණක් රටක් පාල­නය කරන්න බැහැ. පාර්ලි­මේන්තු ක්‍රමය ගැන අත්දැ­කීම් තිබෙන පිරිස් සමඟ ඒකා­බ­ද්ධව තමයි රට­කට ඉදි­රි­යට යාමට හැකි­යාව තිබෙන්නේ.

 ආණ්ඩුව බල­යට පැමි­ණී­මට පෙර ඉදි­රි­පත් කළ ප්‍රති­පත්ති සහ ආණ්ඩුව බල­යට පැමි­ණී­මෙන් පසු අනු­ග­ම­නය කරනු ලබන ප්‍රති­පත්ති අතර වෙන­සක් තිබෙන බවට විප­ක්ෂය චෝදනා එල්ල කර­නවා,?

නිද­හස් අධ්‍යා­ප­නය ගැන විශාල හඩක් නැඟූ කණ්ඩා­ය­මක් තමයි අද ආණ්ඩු බලය දරනු  ලබන්නේ. එදා එම කණ්ඩා­යම පෞද්ග­ලික අධ්‍යා­ප­නය පිළි­බ­ඳව දැරුවේ වෙනත් මත­යක්. ඒත් අද ඉහ­ළම තන­තු­රු­ව­ලට පවා පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යා­ල­වල තන­තුරු දැරූ පිරිස් පැමිණ තිබෙ­නවා. එහෙත් එදා පෞද්ග­ලික අධ්‍යා­ප­නය එපා කියන සට­න්ව­ලට විශාල ශිෂ්‍ය ජීවිත ප්‍රමා­ණ­යක් බිලි වුණා. ඒ වගේම සිසු සිසු­වි­යන්ගේ අධ්‍යා­ප­නය කඩා­ක­ප්පල් වුණා. එහෙත් එදා ප්‍රති­පත්ති වෙනු­වට අද කතා කරන්නේ, ක්‍රියා­ක­රන්නේ වෙන දෙයක්.

ගම්පහ දිස්ත්‍රි­ක්කයේ අපේ­ක්ෂ­ක­යකු වන ඔබ පිළි­බ­ඳව හඳුන්වා දීමක් කළ හැකිද?

මම දේශ­පා­ල­න­යට අලු­තින් ආව කෙනෙක් නොවෙයි. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සමඟ , ප්‍රග­ති­ශීලි කඳ­වුර සමඟ කට­යුතු කළ කෙනෙක්. අවු­රුදු තිස් පහ­කට වැඩි කාල­යක් නීති­ඥ­යකු විදි­හට කට­යුතු කර­නවා. මම දේශ­පා­ල­න­යට පැමි­ණියේ ගම්පහ දිස්ත්‍රි­ක්කය සඳහා අවශ්‍ය කරනු ලබන සේවය සිදු කිරී­ම­ටයි. ඒ සඳහා අව­ස්ථාව මා වෙත ලැබෙනු ඇතැයි මම විශ්වාස කර­නවා.

උදිත ගුණ­ව­ර්ධන

 

 

හැම පක්ෂ­ය­කම ඉන්න හොඳ මිනි­ස්සුන්ට අව­ස්ථාව ලැබෙන්න ඕන

 

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ, ගම්පහ දිස්ත්‍රික් අපේ­ක්ෂක සාලිය සරත් කුමාර 

 

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණෙන් මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වෙන්න ඔබ තිර­ණය කළේ ඇයි?

මම ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ ආර­ම්භයේ සිට පක්ෂ සාමා­ජි­ක­යෙක් විදි­යට පක්ෂය සමඟ සමී­පව කට­යුතු කරපු කෙනෙක්. මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට ගම්පහ දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­න­යට කර­මින් ඉදි­රි­පත් වෙන්න සුදුසු පරි­ස­ර­යක් මං වෙනු­වෙන් සැක­සුණා. යම් යම් හේතු මත මම වගේම තරුණ නවක අපේ­ක්ෂ­ක­යන් සෑහෙන පිරි­ස­කට මෙවර අව­ස්ථාව හිමි­වෙලා තියෙ­නවා.

ඒ වගේම පහු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මිනිස්සු පැවති පාලන ක්‍රමය වෙනස් කරලා අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­ප­ති­ව­රයා බවට පත්වුණා. ඒ වෙලාවේ මාලි­මාවේ අපේ­ක්ෂ­කයා තෝරා­පත් කර ගත්තට දැන් පැවැ­ත්වෙන්නේ මහ­මැ­ති­ව­ර­ණ­යක්. මහ­මැ­ති­ව­ර­ණ­ය­කින් තෝරා පත් කර­ගන්නේ මහ­ජන නියෝ­ජි­ත­යන්. මහ මැති­ව­ර­ණ­ය­කින් මාලි­මාව නියෝ­ජ­නය කරන අය විත­රක් පාර්ලි­මේ­න්තු­වට පත්වෙන්නේ නැහැ. මහ­මැ­ති­ව­ර­ණය කියන්නේ පක්ෂ­යක් තෝරන එකක් නෙවෙයි. හැම පක්ෂ­ය­කම ඉන්න හොඳ මිනි­ස්සුන්ට අව­ස්ථාව ලැබෙන්න ඕනේ. ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණෙන් මහ­මැ­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වෙලා ඉන්න මම මහ­ජ­න­තා­වගේ නියෝ­ජි­ත­යෙක් විදි­යට පත් කරන්න හොඳයි කියලා ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ජන­තාව තීර­ණය කළොත් මටත් මෙවර පාර්ලි­මේ­න්තු­වට අව­ස්ථාව හිමි­වෙයි.

 හොඳ මිනිස්සු කියන එකෙන් ඔබ අද­හස් කරන්නේ මොන වගේ අය ද?

හොඳ මිනිස්සු තෝරන්නේ බාහිර ස්වරූ­ප­යෙන් නෙවෙයි. තමන් නියෝ­ජ­නය කරන ජන­තාව වෙනු­වෙන් සැබෑ සේවා­වක් ඉටු­කළ හැකි, ප්‍රති­ප­ත්ති­ග­රුක අපේ­ක්ෂ­කයෝ මාලි­මාවේ විත­රක් නෙවෙයි, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණින්, ගෑස් සිලි­න්ඩ­ර­යෙන්  වගේම තවත් පක්ෂ­ව­ලින් ඉදි­රි­ප­ත්වෙලා ඉන්නවා. මෙතැ­නදී මහ­ජ­න­තාව දැන­ගන්න ඕනේ ජන­තා­වට  තමන්ගේ ප්‍රශ්න කියන්න,

මහ­ජ­න­තා­වගේ ප්‍රශ්න­ව­ලට ඇහු­ම්කන් දෙන පුද්ග­ල­යන් තෝරා පත් කර­ගන්න. විශේ­ෂ­යෙන් තමන් තෝරා පත්කර ගන්න මහ­ජන නියෝ­ජි­තයා හමු­වෙන්න පදිංචි ලිපි­න­යක්, කාර්යා­ල­යක් තියෙන්න ඕනේ. මේ  වෙන­කල් මාලි­මාවේ මහ­ජන නියෝ­ජි­තයෝ කවුද කියලා මිනිස්සු අඳු­රන්නේ නැහැ. මිනිස්සු අඳු­රන්නේ මාලි­මාව නියෝ­ජ­නය කරන මිනිස්සු විත­රයි. මේ පාර ගමේ දේශ­පා­ල­නය දන්න, ග්‍රාමීය අද­හස් නියෝ­ජ­නය වන සැබෑ ජන­නා­ය­කයෝ පත්වෙන්න ඕනේ.

  ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ජන­තාව ඉති­හා­සයේ කිසිදු දිනෙක නොගත් දේශ­පා­ලන තීන්දු­වක් මෙවර අර­ගත්තා. ඔබ හිතන විදි­යට එහෙම වුණේ ඇයි?

ගම්පහ කියන්නේ ප්‍රබල වාමාං­ශික නාය­කයෝ නියෝ­ජ­නය කරපු, වාමාං­ශික නාය­කයෝ බිහි වුණු භූමි­යක්. එදා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩා­ර­නා­යක ශ්‍රීම­තා­ණන්ගේ සිට ලක්ෂ්මන් ජය­කොඩි, රෙජී රණ­තුංග වගේ  දේශ­පා­ලන නාය­ක­යන්ගේ ප්‍රග­ති­ශීලී වාමාං­ශික අද­හ­ස්ව­ලින් පෝෂ­ණය වුණු ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ජන­තාව පහු­ගිය කාලයේ මහා පාවා­දී­ම­කට ලක්වුණා. මේ පාවා­දීම නිසා කල­කි­රුණු ගම්පහ ජන­තාව වික­ල්පය විදි­හට, ඊළඟ වාමාං­ශික කඳ­වුර විදි­යට දැක්කේ මාලි­මාව. ඉතින් පසු­ගිය මැති­ව­ර­ණ­යේදී ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ජන­තාව තීන්දු­වක් ගත්තා. හැබැයි මේ වන­විට ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ජන­තාව හඳු­නා­ගෙන තියෙ­නවා මාලි­මාව කියන්නේ වමේ මුහු­ණක් පැලඳ සිටින දෙයක් බව.

 ඔබ එවැනි චෝද­නා­වක් එල්ල කරන්නේ ඇයි ?

අපි එහෙම කියන්න හේතු ගොඩක් තියෙ­නවා. මෑතම සිද්ධිය ඔවුන් කියලා තිබුණා වෘත්තීය සමිති විසි­ර­වන බවක්. ඒ කියන්නේ අන්ත ෆැසි­ස්ට්වා­ද­යක්. පහු­ගිය කිසිම ආණ්ඩු­ව­කට ආණ්ඩු කරන්න දුන්නේ නැති වෘත්තීය සමිති කාල­යක් ඔවුන් බිහි කෙරුවා. කිසිම වැඩක හොඳක් දැක්කේ නැහැ. විවේ­චන විත­රයි තිබුණේ. සැබෑ වෘත්තීය සමිති ව්‍යාපා­රය මැඬ­ප­ව­ත්වලා මොන­වාද අද ඔවුන් කරන්නේ.

 දැවැන්ත ජනතා ජය­ග්‍ර­හණ ලබා ගත්ත, ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ පහු­ගිය මැති­ව­ර­ණයේ දී ජන­තාව ප්‍රති­ක්ෂේප කර තිබෙ­නවා. ඉදි­රි­යේදී ජන­තාව ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ සමඟ එකතු වෙයි කියලා ද ඔබ හිතන්නේ?

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ හැම­දා­මත් සම්බුද්ධ ශාස­නයේ පැවැත්ම හා ආර­ක්ෂාව වෙනු­වෙන් පෙනී සිටින, රාජ්‍ය දේපළ හා සම්පත් සුර­කින දේශ­පා­ලන පක්ෂ­යක්.ජන­තා­වට බොරු පොරොන්දු දීලා ජන­තාව රව­ට්ටන්න අපි කැමැති නැහැ. පහු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී යාප­නයේ ඡන්ද ටික විත­රක් ඉලක්ක කර­ගෙන ජන­තා­වට බොරු කිව්වේ නැහැ. අපේ දේශ­පා­ල­නය කර­ගෙන, අපේ මතය ජන­තාව අත­රට ගෙනි­යන්න අපි කැප­වුණා. අව­ස්ථා­වා­දීව වෙනස් වුණේ නෑ. මුද­ලට, බාර් ලයි­ස­න්ව­ලට ප්‍රති­පත්ති පාවා දුන්නේ නෑ. එදාට වඩා අද මාර්ග පද්ධ­තිය දියු­ණුයි. ප්‍රවා­හ­නය දියු­ණුයි. මේක 75 වස­රක සාපය නෙවෙයි. 75 වස­රක දියු­ණුව. ඒ දියු­ණුව තවත් ඉදි­රි­යට ගෙනි­ය­න්නයි පත්වෙන පාල­කයෝ කට­යුතු කරන්න ඕනේ.

 

රන්මලී සෝම­සිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT