අද මුහුණට මුහුණ සංවාදය සඳහා එක්වන්නේ ජවිපෙ මධ්‍යම කාරක සභික, ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සුදත් බලගල්ල සහ සර්ව ජන බලය පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක රොහාන් ජයරත්න යන අයයි.
අප නැඟී සිටියේ විශ්වාසය සහ ඉවසීම නිසයි
ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සුදත් බලගල්ල
මෙතෙක් ඔබ පැමිණි දේශපාලන ගමන ගැන පැහැදිලි කළහොත් ?
මම පාසල් ශිෂ්‍යයෙක් ලෙස දේශපාලන ගමන ආරම්භ කළා. 1987 දී ජවිපෙට සම්බන්ධ වුණා. ඉන් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීත් දේශපාලනයට සම්බන්ධ වුණා. එහිදි ආර්ථීක විද්‍යාව පිළිබඳව විශේෂවේදී උපාධිය හැදෑරුවා. විශ්වවිද්‍යාල කාලයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. ශිෂ්‍ය දේශපාලනය විශ්වවිද්‍යාලයේදීත් කළා. ඉන්පසුව පූර්ණකාලීන දේශපාලනයට සම්බන්ධ වුණා. ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස වසර 10ක් කටයුතු කළා. මහියංගණ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස වසර අටක් කටයුතු කළා. පසුව 2012 සිටම ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් ලෙස කටයුතු කරනවා.
1987 භිෂණ කාලයේදී ඔබ ජවිපෙ දේශපාලන ක්‍රියාකාරියකු ලෙස කටයුතු කළ කෙනෙක් නේද ?
ඒ වෙනවිට විශේෂයෙන් ඉන්දියානු ආක්රමණවලට එරෙහිව පැවති සටන් පෙළපාළිවලට ශිෂ්‍යයෙක් විදිහට සම්බන්ධ වුණා. පාසල් සමයේ සිට ඉන්දීය ආක්රමණවලට එරෙහිව සංවිධාන කටයුතු මෙහෙයවීම සිදු කළා. උද්ඝෝෂණවලට නායකත්වය දුන්නා. ඉන් එහාට තිබුණේ අපිට 1994 දක්වා නිහඬ කාලයක්. ඒ නිසා අපි 1995දී විශ්වවිද්‍යාලය තුළ නැවත දේශපාලනයට සම්බන්ධ වෙනවා. කෙසේ වුවත් වරෙක බිමටම ඇඳවැටුණත් ජාතික දේශපාලනය දක්වා අද ගමන් කරන්න හැකියාව ලැබුණේ අපේ පක්ෂයේ විශ්වාසය, ඉවසීම අපි සියලුදෙනා රැක ගත් නිසයි. බිඳවැටුණ වෙලාවෙත් අපි නැඟිට්ටේ පක්ෂය තුළ තිබුණ විශ්වාසය සහ ඉවසීම නිසයි. පක්ෂය අවස්ථා දෙකකදී බිඳවැටීම්වලට ලක්වුණා, තහනම් කිරීම්වලට ලක්වුණා. ඒ සෑම අවස්ථාවලදීම අපි නොසැලී හිටියා.
ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ දායකත්වය කෙබඳු ද?
අපිට නායකත්වය දෙන්නේ සමන්ත විද්‍යාරත්න සහෝදරයා. විශේෂයෙන්ම ඔහු අපේ ජාතික දේශපාලන තලයේ ඉහළින්ම ඉන්න සහෝදරයෙක්. ඌව වෙල්ලස්ස ඉඩම් අක්කර හැටපන්දහසක් වෙනත් සමාගමකට දෙන්න හදනකොට ඊට එරෙහිව සටන් කරපු නායකයෙක්. අඛණ්ඩ සටනක් කළා. උගත්, බුද්ධිමත් පිරිසක් තමයි අපේ ඉන්නේ.
මහියංගණයේ ඇතැම් ප්‍රදේශවල අලි – මිනිස් ගැටුම පවතිනවා නේද ? මේ සමාජ ප්‍රශ්නය විසඳුමට ජාජබ ආණ්ඩුවක් යටතේ කිරීමට බලාපොරොත්තුවෙන්නේ මොනවද ?
මේ ප්‍රදේශවල ප්‍රධාන ආදායම් මාර්ගය වන කෘෂිකර්මාන්තයට තර්ජනයක් මේ වන අලි නිසා ඇති වෙලා තියෙනවා. එයට අදාළව මහවැලි සී කලාපය ඇතුළු කෘෂි කර්මික කලාප කිහිපයක් තියෙනවා. මෙහි තියෙන කෘෂිකාර්මික ද්‍රව්‍යවල මිල ඉහළ යාම වගේම මේ කෘෂිකර්මාන්තය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වන අලි ප්‍රහාරය සතුන්ට හිමි කෑලෑ අහිමිකරවීම නිසාම ඔවුන් ගම් වැදීම සිදුවෙලා තියෙනවා. එය ගොවි ජනතාවට බරපතළ ප්‍රශ්නයක්.
මෙසේ කාලයක් පුරා ඇතිවූ ගැටලුවලට ජාජබ විසින් ගනු ලබන පියවර මොනවද?
කෘෂිකර්මික අංශයෙන් ගත්විට මහියංගණය ඉතාමත් හොඳ තැනක්, බිත්තර වී සඳහා හොඳ ක්‍රමවේදයක් අපි සකස් කිරීමට කටයුතු කරනවා. රටේ ජාතික වශයෙන් අවශ්‍ය බිත්තර වීවලින් සැලකිය යුතු ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එයට අමතරව තවත් බොහෝ භෝග වගා කිරීමට අපි කටයුතු කරනවා. විශේෂයෙන් කුරුඳු භෝග වගාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වනවා. ඒ සමඟම මත්ස්‍ය ගොවිපොළවලට අදාළව සත්ත්ව ගොවිපොළ නිෂ්පාදන කර්මාන්ත දියුණු කරන්න අපේක්ෂා කරනවා. පශු සම්පත් කර්මාන්තය වැඩිදියුණු කිරීමට, මිරිදිය ධීවර කර්මාන්තය සහ කළුගල් කර්මාන්තය වැඩිදියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මැටි කර්මාන්තයට අදාළ නිෂ්පාදන වැඩිදියුණු කිරීමට අපි කටයුතු කරනවා. ඒ නිසා අපේ රජයක් යටතේ පශු සම්පත් කර්මාන්තයට, ධීවර කර්මාන්තයට, මැටි කර්මාන්තයට අදාළ එවැනි සැලසුම් රැසක් පවතිනවා. මහියංගණයේ පැවති හොඳම උළු නිෂ්පාදනය කරන ලද කර්මාන්ත ශාලා අදවන විට වසා දමා තියෙනවා. ඒවා යළි පණගැන්වීමට අපි කටයුතු කරනවා.
එසේම සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් සුවිශේෂ ස්ථානයක් ලෙස මහියංගණය හැඳින්විය හැකියි. මේවා වැඩිදියුණු කිරීමට යම් පියවරක් ගත යුතුයි නේද?
ආදිවාසික ජනතාව සහ වෙනත් ස්වභාව සෞන්දර්යට අදාළ සාධක රැසක් නිසා සංචාරකයන් මෙම ප්‍රදේශවලට පැමිණෙනවා. සංචාරකයන් පැමිණීමට විශාල හේතුවක් ලෙස මහියංගණය විහාරය ප්‍රමුඛ කරගත් සංස්කෘතිත පෙරහරක් අපි පවත්වනවා. එසේම ආදිවාසී පෙරහරක් පැවැත්වීමත් සිදුවෙනවා. හැම කාරණාවක් සාර්ථක කර ගැනීමට සමාජ පසුබිමක් මෙහි ගොඩනැඟීමට සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට අපි කටයුතු කරනවා.
මහියංගණ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සහ අධ්‍යාපනික ගැටලු රැසක් තියෙනවා. මේවාට ජාජබ ආණ්ඩුවක් යටතේ විසඳුම් තියෙනවා ද?
ඉතා පැහැදිලිව. විශේෂයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත්විට මේ මහියංගනය ආසනයේ පාසල් අසූ එකක් තියෙනවා. නමුත් මේ පාසල් 81න් අපේ දරුවෙක් වෛද්‍යවරයෙක්, ඉජිනේරුවෙක් වීමට හැකි පාසල් එකක් හෝ දෙකක් පමණයි තියෙන්නේ. ඒවත් ඉතාමත් පහසුකම් අඩු පාසල්. දහඅටවංගුවෙන් පහළට බැහැපු සාම්ප්‍රදායික දේශපාලන පවුල්වලට අවශ්‍ය වුණේ නැහැ මේ පළාත්වල දරුවන්ට අධ්‍යාපනය දෙන්න. ඒ අයගේ ළමයි කවුරුත් මහියංගණයේ පාසල්වලට ගියේ නැහැ. ඒවගේම මහියංගණය රෝහලෙන් බෙහෙත් ටිකක් ගත්තේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය අධ්‍යාපනය ඒ අයට ප්‍රශ්නයක් නැහැ. මේ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්විට එය ඉතාම පහළට වැටිලා තියෙන්නේ. කිසිදු පහසුකමක් නැති පාසල් අති බහුතරක් තිෙයනවා.
සුභද්‍රා දේශප්‍රිය
මම පිල් මාරු කරන කෙනෙක් නෙවෙයි
සර්ව ජන බලය පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක රොහාන් ජයරත්න
ඔබගේ දේශපාලන දිවිය ආරම්භ වන්නේ කෙසේද?
මම ක්‍රියාකාරී දේශපාලනයට පැමිණියේ 1993, 94 කාලයේදී. පසුව 1996, 97 වකවානුවේදීත්, 2002දීත් ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් රත්තොට ආසනය ජය ගත්තා. පසුව ටික කලක් මම දේශපාලනයෙන් සමුගත්තා. නමුත් මගේ සමාජ සේවා කටයුතු නොනවත්වා කරගෙන ගියා. ඒවගේම පරිත්‍යාගශීලී හිතවතුන්ගේ ආධාර උපකාර ඇතිව සෑම වසරකම පාසල් දරුවන් 200කට 250කට පාසල් පොත්පත් ඇතුළු උපකරණ ලබාදීම සිදු කරගෙන ආවා. රත්තොට ආසනයේ ගම් මට්ටමින් යම්කිසි වැඩ කොටසක් කිරීමට මට හැකියාව ලැබුණා. මා නියෝජනය කළ ප්‍රාදේශීය සභාවේ එකම කොන්ත්රාත්තුවකටවත් සහභාගි නොවූ එකම මන්ත්‍රීවරයා වූයේත් මම. මේ ආකාරයට කිසිදු අයුක්තිසහගත වැඩකට සම්බන්ධ නොවී අදටත් බොහොම නිරවුල්ව මගේ වැඩ කොටස කරනවා. 2019 සිට 2023 දක්වාම මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළා. මම මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ අලුත් නායකත්වයක් යටතේ අලුත් පක්ෂයකින්.
ඔබ රත්තොට ආසනය නියෝජනය කළ මන්ත්‍රීවරයෙක්. නමුත් අදටත් නොවිසඳුණු ගැටලු රාශියක් ඇති බව රත්තොට ජනතාව පවසනවා. ඔබ මේ ගැටලු හඳුනාගෙන තිබෙනවා ද?
ජනතාව කියන දෙයක් තමා වසර 76ක් මේ රට පාලනය කළ පාලකයන්ගෙන් රටට වැඩක් වුණේ නෑ කියන එක. එහි යම්කිසි සාධාරණත්වයක් තියෙනවා. රත්තොටත් අන්න ඒ වගේ. මොකද දේශපාලන පක්ෂ මාරු වෙන ගානට ඒ ඒ පක්ෂ නියෝජනය කරන අයගේ පෞද්ගලික ආකල්ප මත ඒ ඒ ප්‍රදේශවල සංවර්ධන කටයුතු කළා මිසක් රත්තොට ආසනය දියුණු කරන්න නිසි සැලැස්මක් තිබුණේ නෑ. බහුතරයක් දෙනා කළේ ලැබෙන ප්‍රතිපාදනවලින් සමාජයට සේවය කරනවාට වඩා තමන්ගේ සාක්කුව පුරවා ගන්න පුළුවන් ආකාරයේ ව්‍යාපෘති ඇති කිරීමට උත්සාහ කිරීමයි. ඒ හරහා ඒ දේශපාලනඥයන්ගේ ගෝලබාලයෝ දමාගෙන කොන්ත්‍රාත් කළා. එයින් ප්‍රදේශය නිසි ලෙස සංවර්ධනය වුණේ නෑ.
ලංකාව ගත්තාම සියලු දේ තිබිලත් දියුණු වෙන්න බැරි තැනක් වගේ තමා රත්තොටත්. පෝසිලේන් කර්මාන්ත ශාලාව පමණයි මේ ඉතිහාසයටම රත්තොටට ලැබුණු ලොකුම දායාදය. මේ වෙනුවෙන් යාලේගම එස්. බී. අලවි මහතාට මම පෞද්ගලිකව ස්තූතිය පුද කරනවා. රත්තොට දියුණු කළ හැකි ඕනෑතරම් ක්‍රම සහ විධි තියෙනවා. රත්තොට තිබෙන විශාලම ප්‍රශ්නය ජල ගැටලුව . පහුගිය කාලයේ විසල් ව්‍යාපෘතිය තුළින් මේ ගැටලුව ටිකක් නිරාකරණය වුණා. නමුත් ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳුණේ නෑ. රත්තොට ආසනයේ සමහර තැන්වල ජලය අතිරික්තයක් තියෙනවා.
මම ප්‍රාදේශීය සභාවේ ඉන්න කාලේ මේ අතිරික්ත ජලය බෝතල් කර සභාවට ආදායම් මාර්ගයක් සකසා ගන්නා ලෙස යෝජනා කළා. මෙයින් ලක්ෂ ගණනක ආදායම් මාර්ගයක් හදාගන්න තිබුණා. නමුත් ඒ කෙරෙහි කිසිම බලධාරියකු අවධානය යොමු කළේ නෑ. ඇතැම් මන්ත්‍රීවරුන් සභාවට ආදායම් ලැබෙන මාර්ග සෙව්වේ නෑ. නමුත් තමන්ගේ ආදායම් මාර්ග වැඩි කර ගත්තා. අද රත්තොට ප්‍රාදේශීය සභාවට ලක්ෂ එකහමාරක දෙකක ආදායමක් ලැබෙන ආකාරයට රත්තොට පැවති වසර 150ක් පමණ පැරණි ළිඳක් ප්‍රතිසංස්කරණය කර ආදායමක් ලැබිය හැකි මාර්ගයක් මම නිර්මාණය කළා.
රත්තොට දියුණු කළ හැකි මාර්ග රාශියක් තිබෙනවා. කළුගල්, මිනිරන්, ලාක්ෂා ආදී කර්මාන්තවල නියැළෙන්නන් ජීවත්වන ආසනයක් මේ. මැතිවරණ කාලවලදී මේ ලාක්ෂා කර්මාන්තය දියුණු කරන බවට පොරොන්දු වන දේශපාලනඥයන් ඡන්ද ඉවර වුණාට පසු පැත්ත බලන්නේ නෑ. එනිසා මේ ලාක්ෂා කර්මාන්තයේ යෙදෙන්නන් හැමදාම ජීවත් වන්නේ එකම තැන. මේ කර්මාන්තය නිසි ලෙස දියුණු කළා නම් අද අපේ රටට ඩොලර් ලැබෙන එක ආදායම් මාර්ගයක් තමා මේ. මිනිරන් කර්මාන්තයටත් වුණේ ඒදේමයි.
මෙවර මැතිවරණයට පරණ මුහුණු අලුත් පක්ෂවලින් එනවා කියා චෝදනාවක් තියෙනවා නේද?
මම හිතන්නේ ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහි ජනතාව තුළ පවතින්නේ දැඩි අප්‍රසාදයක්. එයට හේතුව ඔවුන් නියෝජනය කළ ජනතාවට ඔවුන්ගෙන් නිසි ලෙස සේවයක් සිදු නොවීම. ගමට සේවයක් නොවුණාට දේශපාලනඥයා නම් ඉක්මනින් දියුණු වී තිබෙන බව ජනතාව දැක්කා. එදා පැල්පතේ සිටි මනුස්සයා අදටත් පැල්පතේමයි. නමුත් දේශපාලනඥයා තනි තට්ටුවේ ගෙදර හිටියා නම් අද ඉන්නේ තට්ටු හතරක් පහක් ඇති ගෙදරක. දේශපාලනඥයා තමන්ගේ ප්‍රදේශයට අවංකව සේවය කර තිබුණා නම් මෙවැනි තත්ත්වයක් උද්ගත ෙවන්නේ නෑ. මේ නිසා තමා ප්‍රධාන පක්ෂ විනාශ වුණේ.
අදටත් අපි මහින්ද මහත්තයාට ගරු කරනවා, ඒ යුද්ධයෙන් රට බේරාගත් නිසා. නමුත් එතුමාගේ පවුලේ අයගේ තිබූ පටු අදහස් නිසා රාජපක්ෂ පරපුර ඡන්දයක් නොඉල්ලන තත්ත්වයට පත්වෙලා තියෙනවා.
මාලිමාවේ ජයග්‍රහණයට මේ කරුණු බලපෑවා ද?
ඔව්. මාලිමාව ජය ගත්තේ මාලිමාවේ ඡන්දවලින් නොවේ. මාලිමාවට ඡන්දය තිබුණේ ලක්ෂ හතයි අටයි. නමුත් ලක්ෂ පනස් ගණනකින් මාලිමාව ජය ගත්තේ ජනතාව තුළ පැවති වේදනාව අනෙක් පක්ෂ තේරුම් නොගත් නිසයි. මේ සිදු වූ වෙනස ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා. නමුත් මාලිමාවේ ගමන ගැන තාම කියන්න බෑ. ඇවිත් තව මාසයයිනෙ.
ඔබ අලුත් පක්ෂයකට එකතුවීමට හේතුව කුමක්ද?
මම පිල් මාරු කරන කෙනෙක් නෙවේ. නමුත් මටත් තේරුම් ගියා, ප්‍රධාන පක්ෂවල නායකයන් හැමදාම කරන්නේ ප්‍රාදේශීය මට්ටමේ නායකයන් රවටා වැඩ ගත්තා මිස ඒ ගම්වලට නිසි සේවයක් නොකිරීම කියලා. ඒ කලකිරීමත් එක්ක මම තීරණය කළා, මව්බිම ජනතා පක්ෂය එහෙමත් නැත්නම් සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා සමඟ එක්වන්න. ඔහු ගැන මා හොඳින් අධ්‍යයනය කළා. එතුමා නිතර කියන දෙයක් තමා, මිනිසුන්ට හැමදාම සමෘද්ධිය හෝ අස්වැසුම හෝ දීලා වැඩක් නෑ. එයින් වෙන්නේ තවත් දුප්පත්කම වැඩිවීමක් මිස රටේ සංවර්ධනයක් ඇතිවීම නොවන බව. මේවාට විසඳුම් ලෙස ඔහු ඉදිරිපත් කළේ මේ පිරිස ව්‍යවසායකයන් ලෙස දියුණු කිරීම තුළින් හැම පවුලකටම මසකට ලක්ෂයක ආදායමක් හදන්න ඕන කියන එක. බුද්ධිමත් , උගත් නායකයෙක් ලෙස දිලිත් ජයවීර මහතා මුදල් හරිහම්බ කරගෙන දේශපාලනයට ආවේ. නමුත් හිටපු දේශපාලනඥයන් කළේ හිස් අතින් දේශපාලනයට ඇවිත් මලු පුරවාගෙන ගිය එකයි.
අපේ පක්ෂයේ නායකයා කියන්නේ වර්තමාන ආණ්ඩුවට හරි තැනදී සහාය දිය යුතුයි කියලා. එහිදී රටේ සංවර්ධනය වෙනුවෙන් ගන්නා නිවැරදි තීරණවලට අපේ පූර්ණ සහාය හිමි වෙනවා. ඒවගේම පහුගිය ආණ්ඩු මෙන් ජනතාව පීඩාවට පත් කිරීමට තීන්දු තීරණ ගත්තොත් එතැනදී අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.
සමහරු කියනවා මේ ආණ්ඩුව ඉක්මනට කඩා වැටෙයි කියලා. ඒ ගැන ඔබේ මතය කුමක්ද?
පවතින රජය ඇවිත් බොහොම කෙටි කාලයයි. යම්කිසි කෙනෙක් රජයට චෝදනා නඟනවා නම් වැරදියි. මොකද අනුර කුමාර මහතා ජනපති පුටුවේ ඉඳගත්තේ පළමු වරට. ඒ තුළ තිබෙන කර්තව්‍යය ලේසි නෑ. එනිසා එතුමාට අපි යම්කිසි කාලසීමාවක් දිය යුතුයි. ඒවගේම රට හදන්න නම් රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන් ගැන විශේෂ විමර්ශනයක් කළ යුතුයි. බොහෝ වෙලාවට මේ නිලධාරීන් තමා දේශපාලනඥයා නොමඟ යවන්නේ. එලෙස කටයුතු කරන නිලධාරීන් විශ්‍රාම යවා රාජ්‍ය සේවයට පලදායී උගත්, බුද්ධිමත් පිරිසක් බඳවාගත යුතුයි.
මේ රජයේ බොහොම හොඳ සැලසුම් තිබුණා. හොඳම උදාහරණය ජනාධිපතිවරණය. එය සාමාකාමීව පැවැත්වූවා. යම්කිසි නීතිමය රාමුවක් තුළ දේශපාලනය කරන්න කටයුතු කර තිබෙනවා. අනෙක සරසවිවල තිබෙන නවකවධය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත් නව ජනපති තීරණය කර තිබෙනවා. සරසවි සිසුවෙක් ලෙස සිටි ජනපතිතුමාට ඒ ගැන පුළුල් අවබෝධයක් ඇති. ඒනිසා ගත් මේ තීරණය ගැන බෙහෙවින් සතුටු වෙනවා. ඒනිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ හොඳ විපක්ෂයක් හදන්න සහාය දෙන ලෙසයි.
දිල්හානි ජයවර්ධන