රටක් තුළ ප්රජාතන්ත්රවාදය සහ යහපාලනයක් ක්‍රියාත්මක වීමට නම් එසේ තේරී පත් විය යුත්තේ සැබෑ ජනතා නියෝජිතයන්ය. එනම්, සැබෑ ලෙස ජනතා අපේක්ෂා මුදුන්පත් කරනු ලබන සහ ජනතා විශ්වාසය දිනාගත් නියෝජිතයන්ය. සැබෑ ජනතා නියෝජිතයන් තේරී පත්වීමට නම් පවත්වනු ලබන මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් විය යුතුය. මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් පවත්වනු ලබන මැතිවරණ කිසිසේත්ම නිදහස් හා සාධාරණ නොවේ.
ශ්‍රී ලංකාවේ පවතින පාලන මට්ටම් තුනෙහි මහජන නියෝජිතයන්ගේ කාර්ය භාරයන් සහ වගකීම් එකිනෙකට වෙනස් බව ඉහත කී කරුණුවලින් පැහැදිලි වේ. එබැවින් මැතිවරණයකදී අපේක්ෂකයකුට මනාපය ප්‍රකාශ කිරීමේදී අදාළ කාර්ය භාරය ඉටුකිරීමට වඩාත් සුදුසු අපේක්ෂකයා තෝරාගත යුතුය. එහිදී හුදෙක් කථිකත්වය, කඩවසම් බව, දේශපාලන ඥාති සබඳතාව, ධනය වියදම් කිරීමේ හැකියාව, මරණ ගෙවල් සහ මඟුල් ගෙවල්වට සහභාගි වූ ප්‍රමාණය, ආධාරකරුවන් වෙනුවෙන් පෙනී සීටීම් ආදී කරුණුවලට වඩා අදාළ මහජන නියෝජිතයාගෙන් සැබවින්ම අපේක්ෂා කරන භූමිකාවට අදාළ කටයුතු ඉටුකිරීමට ඔහු හෝ ඇය කෙතරම් ශක්‍යතාවක් දක්වයි ද යන්න සිතා බැලීම රටේ අනාගතය සඳහා ඉතා වැදගත්ය.
මේ අනුව ඡන්දය භාවිත කිරීම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක අත්‍යවශ්‍ය අංගයක් මෙන්ම එය ජනතා පරමාධිපත්‍යය මෙන්ම නියෝජිත ප්රජාතන්ත්රවාදය ද ප්‍රායෝගිකව ක්‍රියාවට නඟන මහඟු ක්‍රියාවක් බව අවධාරණය කළ යුතුය. එසේම තම ඡන්දය සහ මනාපය ලබාදීමේදී මහජන නියෝජිතයාගෙන් අපේක්ෂා කරන භූමිකාව නිවැරදිව අවබෝධ කරගෙන ඒ සඳහා සුදුසු අපේක්ෂකයකු පත් කර යැවීම ඡන්දදායකයාගේ වගකීමක් ද වේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ නීතිය
පාර්ලිමේන්තු මැතිවරණයකදී මන්ත්‍රීවරුන් තෝරා ගැනීම පිළිබඳ කාර්ය පටිපාටිය හා මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ අදාළ නීතිය ශ්‍රී ලංකාවේ නොයෙක් අණපනත්වල සඳහන්ව තිබේ.
- 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 88 -104 දක්වා ව්‍යවස්ථාවන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 17,19 දරන සංශෝධනයන් ද අදාළ වේ.
- පාර්ලිමේන්තු මැතිවරණ පනත.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධ නීතිය ප්‍රධාන වශයෙන් සංයුක්ත වන්නේ වන්නේ 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත තුළය. ඒ සමඟම එම පනතට සිදුකරන ලද පහත දැක්වෙන සංශෝධනයන් ද අදාළ වේ.
1988 අංක 15 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත.
1988 අංක 29 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත.
1988 අංක 54 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත.
1988 අංක 35 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත.
- වෙනත් නීතිමය විධිවිධාන
දණ්ඩනීති සංග්‍රහය 169 අ – ඌ දක්වා වගන්ති. 004 අංක 14 දරන පාර්ලිමේන්තු පනත- ඡන්දය භාවිත කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීම.
- මැතිවරණ කොමිෂන් සභාව විසින් කලින් කලට නිකුත් කරනු ලබන නියෝග චක්‍රලේඛණ හා ගැසට් නිවේදන නඩු තීන්දු.
යම්කිසි අවස්ථාවක ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන නිවේදනයේම නාම යෝජනා කාල සීමාව හා ඡන්ද විමසීම් දිනය සඳහන් කරනු ලැබේ. මැතිවරණය පැවැත්වීමේ සම්පූර්ණ බලය පාර්ලිමේන්තු මැතිවරණ පනත (සංශෝධිත) යටතේ මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වෙත පැවරී ඇති අතර එම බලය දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 17 වැනි සංශෝධනයප්රකාරව මැතිවරණ කොමිසම වෙත පැවරී ඇත. XIV අ යනුවෙන් අංක යොදා ඇති මෙම සංශෝධනයේ නව විධිවිධාන රාශියක් හඳුන්වා දී ඇත. මෙම පරිච්ඡේදයේ 103(1) වගන්තිය මඟින් සලසා ඇති විධිවිධානප්රකාරව මැතිවරණ කොමිසම, ව්‍යවස්ථාදායක සභාවේ නිර්‌දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත වේ. එම සාමාජිකයන් අතරින් එක් පුද්ගලයකු සභාපති ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති අතර එය සිදුකළ යුත්තේ ද ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනයේ 27(2) වගන්තියෙහි අඩංගු අන්තර් විධිවිධානවලට අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මැතිවරණ කොමිසමට පවරා ඇති බලතල හා කර්තව්‍යයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සිදු කරයි.
පාර්ලිමේන්තු මැතිවරණය කල්දමා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් කතා කළහොත් පාර්ලිමේන්තුවේ ධුර කාලය අවසන් වීමට පෙර කලින් මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් ඇත.විශේෂයෙන්ම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ හැකියාව තිබේ. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යෑමට අවශ්‍ය බව ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කළ හැකිය. නමුත් පාර්ලිමේන්තුව තේරී පත් කෙරුණු දින සිට මාස 30 ක කාලය ඉක්මවූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිට ලබාදී ඇති අතර, මන්ත්‍රී බහුතරයක් සම්මත කරන්නාවූ පාර්ලිමේන්තු යෝජනාවක් මඟින් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය.
ඡන්ද පැවැත්වීම කල්දැමීම රටේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරීත්වයට දැඩි හානියකි. එමඟින් ජනතාවගේ කැමැත්ත, අකැමැත්ත දැනගැනීම ගිලිහීයාමකි. ජනතාවට තමන්ගේ පරමාධිපත්‍ය බලය භාවිත කිරීමට ඇති අයිතිය අහිමි කිරීමකි. ඡන්ද අයිතිය මූලික අයිතියකි. එම මූලික අයිතිය කඩවන අයුරින් නීති සම්පාදනය කිරීමේ හැකියාවක් නැත. යම් ආකාරයකට රටක මැතිවරණයක් කල් දමන්නේ නම් එසේ කළ හැක්කේ ඉතාම සීමිත අවස්ථාවලදීය. අධිකරණයක් වුව පිළිගන්නේ එවන් කාරණයන්ය. යම් වසංගත රෝගයක් පැතිරී යනවානම් මැතිවරණ පැවැත්විය නොහැකි බව ඉන් එක් අවස්ථාවකි. ශ්‍රී ලංකාවේ මෙවන් අවස්ථාවක් උද්ගත වූයේ කොරෝනා සමයේය. ඒ වගේම ස්වාභාවික උවදුරකට මුහුණදී ප්‍රදේශයකට හානියක් වන්නේ නම් එවැනි භූ සාධකයක් මත මැතිවරණ පැවැත්වීමට නොහැකි වන්නට පුළුවන. එමෙන්ම රටේ යුද්ධයක් පවතින අවස්ථාවකදී ද ඡන්දය පැවැත්විය නොහැකිය.
ශ්‍රි ලංකාවේ ප්‍රධාන මැතිවරණ 4කි. එනම්, ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මහමැතිවරණ, පළාත් සභා ඡන්ද විමසීම්, පළාත් පාලන ඡන්ද විමසීම් හා ජනමත විචාරණ මේ අතරින් ජනමත විචාරණය හැර අනෙක් සියලුම මැතිවරණ පවත්වනු ලබන්නේ මහජන නියෝජිතයන් තෝරා ගැනීම සදහාය. මෙසේ තෝරාගන්නා ලද මහජන නියෝජිතයන්ගෙන් අපේක්ෂා කරන භූමිකාවන් එකිනෙකට වෙනස් වේ. ජනතාව විසින් ජනතාව උදෙසා ජනතා සහභාගිත්වයෙන් පවත්වන පාලනය ‘ප්රජාතන්ත්රවාදී පාලනය’ ලෙස හඳුන්වයි. ප්රජාතන්ත්රවාදී පාලනයකදී ජනතාවගේ අවශ්‍යතා මත පදනම්ව රාජ්‍යයක් පාලනය කිරීම සිදුවේ. ජනතාවගේ අවශ්‍යතා සහ කැමැත්ත හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධානතම මෙවලම වනුයේ මැතිවරණයන්ය. එබැවින් නිසි කලට පවත්වන නිදහස් සහ සාධාරණ මැතිවරණ ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක ප්‍රධාන අංගයකි.
රටට අහිතකර නීති ඉවත් කර රටට හිතකර අලුත් නීති පනවන්නේ පාර්ලිමේන්තුවයි. එනිසා පාර්ලිමේන්තුව උත්තරීතරය. රට දියුණුවේ මාවතට ගෙන ඒමට පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ වගන්තියේ අවුරුදු පහකින් ධුර කාලය අවසන් වන බව පැහැදිලිව දක්වා ඇත. මෙම වගන්තිය වෙනස් කරන්න නම් තුනෙන් දෙකක අනුමැතියක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් සමන්විත වන අතර එයින් 196 දෙනෙකු මහමැතිවරණයකින් තෝරා පත්කර ගනු ලබයි. ඉතිරි 29 පත්වන්නේ ජාතික ලැයිස්තුවෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ X සහ XI යන පරිච්ඡේදවල පාර්ලිමේන්තු කාර්යපටිපාටිය හා මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථාදායකමය බලතල හා කාර්යයන් දක්වා ඇත. 2015 වර්ෂයේ සම්මත කර ගන්නට යෙදුණු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගණනාවක් එකතු කරගන්නා ලදි. ඒ අනුව එතෙක් පැවති වසර 6ක් වූ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර 5කට සීමා කරන ලදි.
පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාව සතුව බව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි පරිච්ඡේදයේ අංක එකෙහි පැහැදිලිව දක්වා තිබේ. ජනතාව සතු එකී බලය ක්‍රියාත්මක කරවාගනු ලබන්නේ පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා හා ජනමත විචාරණයකිනි.
රුවන් පුෂ්ප කුමාර