88-89 භීෂණ යුගයෙන් පසුව 90 දශකය මූලාරම්භයේ ජනතා විමුක්ති පෙරමුණ යළි හිස ඔසවන්නේ වඩා ජාතිකවාදී නැඹුරුවකිනි. 1989 මර්දනයේදී ජවිපෙ නායකයන් මෙන්ම සාමාජික සාමාජිකාවන් සංඛ්‍යාත්මකව විශාල වශයෙන් එකවර අහිමිවීම භෞතිකමය වශයෙන් සිදුවූ අහිමිවීමක් පමණක් නොවේ. එය අඛණ්ඩව පැමිණි දුෂ්කර ගමනක අත්දැකීම් සමුදායක් එකවර සෝදාපාළුවට ලක්වූ අවස්ථාවක් ද විය. මේ නිසාම අත්වූ දේශපාලන රික්තයත්, අර්බුදයට ගොස් තිබුණු අනන්‍යතාව වෙනස් ස්වරූපයකින් යළි ලිවීමේ අවශ්‍යතාවත් පෙර නොවූවිරූ ජාතිකවාදී තලයකට පක්ෂය තල්ලු කරා විය හැකිය.
1994 මහමැතිවරණයේදී ජවිපෙට එක් මන්ත්‍රී ආසනයක් දිනාගැනීමට හැකිවූ අතර එය පක්ෂ ඉතිහාසය තුළ සුවිශේෂී සංධිස්ථානයකි. 94 ජනාධිපතිවරණයට පක්ෂය විසින් ඉදිරිපත් කර ලද අපේක්ෂකයා වූ නිහාල් ගලප්පත්ති ජනාධිපතිවරණ සටනින් අතරමගදී ඉවත්විය. ඒ එකී ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගෙන් වසරක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව පිටය. පොරොන්දුව ඉටු කරනු ඇතැයි අපේක්ෂාවක් නොතිබුණ ද, මහමැතිවරණයේදී ලැබුණු ලක්ෂයක පමණ ඡන්ද ප්‍රමාණය හෝ නොලැබී යාමෙන් මුහුණදීමට සිදුවන දේශපාලන අවමානයෙන් ගැලවීම, සෙසු අපේක්ෂකයන්ට සාපේක්ෂව ශක්තිමත් නායකත්වයක් යොමු කිරීමට නොහැකිවීම ආදී ගැටලුසහගත තත්ත්වයන්ට එකවර මුහුණදී හොඳ නම ආරක්ෂා කර ගැනීමට එය උපක්රමිකව සාර්ථක විය.
2001 පළාත් පාලන මැතිවරණයෙන් පක්ෂ ඉතිහාසයේ පළමු වරට ප්‍රාදේශීය සභාවක බලය තහවුරු කර ගැනීමට පක්ෂයට හැකිවිය. ඒ තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කිරීමය. 2006 දී පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී ද බලය තහවුරු කර ගැනීමට සමත්විය. එහෙත් හුදකලා පළාත් පාලන ආයතනයක් ලෙස එහි කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාමටත්, ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළම ඇතැම් ගැටලු කළමනාකරණය කර ගැනීමට ප්‍රායෝගිකව හැකියාවක් නොවීමත් නිසා මෙම බලය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි විය.
2002 නොවැම්බර් මස 01 වැනි දින පක්ෂයේ දෙවන සමුළුව පවත්වා මෙතෙක් කාලයක් තරමක ලිහිල් ස්වරූපයෙන් පවත්වාගෙන ආ පක්ෂ ව්‍යුහය යම් ව්‍යවස්ථාමය ක්‍රියාවලියකට අනුගත කිරීමට උත්සාහ දැරීම සංවිධාන ක්‍රියාවලියට අදාළව පක්ෂ ඉතිහාසයේ සාධනීය පියවරකි. මෙම සමුළුව පැවැත්වෙන මොහොත වනවිට රටේ පැවති දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගනිමින් නව උපක්රමික වැඩපිළිවෙළක් පක්ෂ සමුළුවේදී අනුමත වූ අතර 2004 වර්ෂයේ සන්ධානයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය කළ මූලික මතවාදී පදනම, පක්ෂය තුළ නිර්මාණය වන්නේ එම උපක්රමික වැඩපිළිවෙළ හරහාය. ඒ අනුව 2002 මහමැතිවරණයට පෙර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පොදු පෙරමුණු රජය කඩා වැටීමට ඉඩ නොදී එයට සහය පළ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ 2001 දී කටයුතු කළ අතර එය එම පක්ෂය සභාග දේශපාලනයට යොමු වූ මුල් අවස්ථාවක් ලෙස නම් කළ හැකිය.
ඉක්බිතිව එළැඹුණු 2004 මහමැතිවරණයේදී ජවිපෙ, මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානයකට එක්වන අතර, පසුව එම සන්ධානයෙන් මැතිවරණයට තරග කර පාර්ලිමේන්තු ආසන 41 ක් ද දිනා ගැනීමට සමත් විය. පසුව එයින් මන්ත්‍රී ආසන 2ක් පොදුජන එක්සත් පෙරමුණට ලබාදී ආසන 39ක් පක්ෂයට ලබාගන්නා ලදි. එම මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගණන ලබා ගනිමින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට තේරී පත් වී, කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙස ද, කටයුතු කළේය. කෙසේ නමුත්, මෙම සන්ධානයට වැඩි ආයුෂ නොතිබිණි.
2004-2005 කාලවකවානුවේදී ජනතා විමුක්ති පෙරමුණ යුද්ධයට පක්ෂපාතී ‘මානෙල් මල් ව්‍යාපාරය’ සහ ‘දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය’ වැනි ජාතිකවාදී සංවිධාන යැයි කියන ව්‍යාපාර හා සම්බන්ධ වෙමින් ඒ වනවිට උතුරේ පැවති සිවිල් යුද්ධය අඛණ්ඩව පවත්වාගෙන යාමට සැලකිය යුතු සහ බලපෑම්සහගත මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කළේය. 2005 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ කොන්දේසි 12ක් සහිත ගිවිසුමකට එළැඹුණු අතර, ඒ වනවිට සිදු කෙරී තිබූ එල්ටීටීඊය සමඟ සාම සාකච්ඡා සහ ඒවා සඳහා නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීම පිළිබඳ නැවත සලකා බැලීම සම්බන්ධ කොන්දේසි ද ඇතුළත් විය. කෙසේ වෙතත් මෙම දේශපාලන දීගය පිළිබඳ පක්ෂය විසින් පසුව පාපොච්චාරණය කරමින් එය ඉතිහාසයේ සිදුවූ බරපතළ වැරැද්දක් බව පිළිගන්නා ලදි.
“2004 සන්ධානය ගොඩනැඟීම අහම්බයක් හෝ පුද්ගල සාධකයන්ගේ හුදකලා වරදක් ලෙස සිදුවූවක් නොව එම ගමන් මාර්ගය විසින් කූඨප්රාප්තියට පත් කළ තර්කානුකූල අවසානයකි. එහෙත් සෘජුවම පක්ෂය සම්බන්ධ වූ ධනේශ්වර සභාගයක් ගොඩනැඟීම, එතෙක් පක්ෂය ගොදුරුවෙමින් ආ අවස්ථාවාදයේ අනුක්‍රමික අනුපිළිවෙළ් යම් තීරණාත්මක මෙන්ම ගුණාත්මක වෙනසක් ද, සලකුණු කරන ලදි. න්‍යායික තලයේදී මෙන්ම දේශපාලනමය වශයෙන් ද, සමස්ත පක්ෂ ඉතිහාසයට සිදුවූ බරපතළ වරදක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ඉතිහාසයට එක්විය. යුතුය.“ ( 149-50 පිටු/ 1978-2012 ජවිපෙ ගමන්මග) පක්ෂයේ මෙම නොපෑහෙන දීගයේ හේතුසාධක ආරම්භක ලක්ෂ්යයේදීම දකින්නට ලැබුණු බව ද, කිවයුතුය.
2004දී සන්ධාන ගතවන විට ජවිපෙ විසින් යම් පාලනයකට යටත් කරන්නේ නම් ශ්‍රීලනිප ආණ්ඩුවකට රට හැදිය හැකි බවට යම් ජනමතයක් නිර්මාණය වී තිබිණි. මෙය වඩාත් උග්‍ර වූයේ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් කළ ‘රට පෙරට‘ වැඩපිළිවෙළයි. එහි අන්තර්ගතයේ ජාතික ගැටලුවට අදාළව පැවති මානය මෙපරිදිය.
1 ජාතික ගැටලුවට සාකච්ඡාමය විසඳුමක් ලබා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කැපවී සිටියි.
2 සටන් විරාමය දිගටම ක්‍රියාත්මක වනු ඇත.
මීට අමතරව එහි අඩංගු වූයේ සාකච්ඡා කෙරෙන රාමුව, සාකච්ඡා, පූර්ණ පාරදෘශ්‍යභාවයෙන් යුතුවීම, යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම, ජාතිකත්වයන් අතර සමානාත්මතාවට අදාළ පරිපාලනමය ප්‍රතිසංස්කරණ ආදියයි. එහෙත් ඊට ප්රතිපක්ෂව 2002-2004 කාලය තුළ ජවිපෙ විසින් ගෙන යන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන්පාඨ වූයේ ‘සටන් විරාම ගිවිසුම ඉරා දැමීම‘, ‘නෝර්වේ රාජ්‍ය මැදිහත්කරුවාගේ භූමිකාවෙන් ඉවත් කිරීම”, ‘බෙදුම්වාදී කණ්ඩායම නිරායුද කිරීම“, “රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම”, ආදියයි. පසුකලෙක මෙම නොපෑහීම පක්ෂය විසින්ම පිළිගෙන ජනතාවට පාපොච්චාරණය කරන ලද්දේ මේ අයුරිනි.
“අප විසින් යථාර්ථවාදීව ගොඩනඟා ඇති සන්ධානය මෙම සටන්පාඨ කිසිවක් අන්තර්ගත කරගෙන නැත. එම නිසා පක්ෂය විසින් සමාජය තුළ කාලාන්තරයක් මුළුල්ලේ ගොඩනඟා තිබූ උද්ඝෝෂණික අරගලයේ අරමුණු හා සන්ධානය අතර සම්බන්ධය ගිලිහී ගොස් එය ශ්‍රීලනිප හා ජවිපෙ අතර රට හැදීම සඳහා වූ එකඟතාවයක ස්ථානගතවීම බරපතළ දේශපාලන ගැටලුවකි. (පිටුව 225-1978-2012 ජවිපෙ ගමන්මග)
මෙම නොගැළපීම ජනප්‍රියවාදී ලෙස කලඑළියේ සලකුණු කරන ලද්දේ 2004 දෙසැම්බර් 26 ඇති වූ සුනාමි ආපදා තත්ත්වයෙන් පසු උතුරු-නැගෙනහිර බල ප්‍රදේශවලට සුනාමි සහන බෙදා ගැනීමට තාවකාලික යන්ත්‍රණයක් ස්ථාපිත කර ගැනීම තුළය. එනම් 2005 දී සුනාමි සහනාධාර වැඩපිළිවෙළ සඳහා රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර ඇතිකරගත් ගිවිසුම අහෝසි කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ Òරජයට ත්‍රස්තවාදී සංවිධාන සමඟ ගිවිසුම් අත්සන් කිරීමට නොහැකිÓ බව පවසමින් ය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ගිවිසුම අත්හිටුවීමට නියෝග කෙරිණි.
2008 වර්ෂයේ දී පක්ෂයේ ප්‍රධාන කථිකයකු වූද, ප්රචාරක ලේකම්වරයා ද වූ විමල් වීරවංශ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ එක්වීම එකල බෙහෙවින් සාකච්ඡාවට බඳුන් වූ කරුණකි. කාලයක් තිස්සේ පක්ෂය විසින්ම ප්‍රවර්ධනය කරන ලද ජාතිකවාදී ප්‍රවණතාව එයටම දරාගත නොහැකි මට්ටමට වැඩී අභ්‍යන්තරයෙන් පුපුරායාම මෙහි දේශපාලනික සංකේතයයි. මෙය එකල ඇතැම් ජාතිකවාදී පුවත්පත් ‘අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්“ ලෙස හුවාදැක්වීමේ විහිළුසහගත තත්ත්වයට ඇදවැටී තිබුණි.
2005 වසරේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දුන් ජනතා විමුක්ති පෙරමුණ යළි 2010 දී ජනාධිපතිවරණයෙන් ඔහුව පරාජය කිරීමට හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සහය දක්වන ලදි. ඒ වන විටත්, 1994 සිට පක්ෂ ප්රතිසංවිධානයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ විසින් තේරූ උපායමාර්ග සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ ගැටුමක් හටගෙන තිබුණි. පක්ෂ අභ්‍යන්තරයේ දිගින් දිගටම ඇතිව තිබූ අභ්‍යන්තර ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස 2011 දී පක්ෂය දෙකඩ විය. ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණවාදය, වෘත්තීය සමිතිවාදය, ප්රතිසංස්කරණවාදය සහ ජාතිකවාදයට ඇදවැටුණේ යැයි චෝදනා කරමින් 2011 සැප්තැම්බර් මස කැඳවූ විශේෂ සම්මේලනයකින්, ජනතා විමුක්ති පෙරමුණින් ඛණ්ඩනය වූ කොටසක් “පෙරටුගාමී සමාජවාදී පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලදි. එම පක්ෂයේ වර්තමාන ප්‍රධාන ලේකම්වරයා වන්නේ කුමාර් ගුණරත්නම් ය.
71 අප්‍රේල් අරගලයෙන් ද, 88-89 භීෂණයෙන් ද දහස් සංඛ්‍යාත තරුණ ජීවිත අහිමි කරගත් ජවිපෙ 1994දී යළි අළුමතින් නැඟී සිටීම ආරම්භ කරන ලදි. එතැන් සිට විවිධ ආණ්ඩුකරණයට බලපෑම් කරමින් තම දේශපාලන අනන්‍යතාව තහවුරු කිරීමේදී ලැබූ ජයග්රහණයන් ද, තාවකාලික පසුබැසීම් ද එමටය. පක්ෂ අභ්‍යන්තරයේ මත ගැටුම් දෙදරා ගොස් පක්ෂය දෙකඩ වූ අවස්ථාවන්ද, පක්ෂය යළි යළිත් වැරදි නිවැරදි කරගන්නා මාවතකට තල්ලු කරන ලදි. එළඹෙන මහමැතිවරණය යනු ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් තහවුරු කරමින් ජනතාවගේ ලේ, දහඩිය මතින් ගොඩනැඟුණු පක්ෂයක් රාජ්‍ය බලය අත්පත් කරගන්නා උත්කෘෂ්ඨ මොහොතය.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර