අපේක්ෂකයන් වැඩි වෙනවා කියන්නේ රජයට අමතර වැය බරක්
ඡන්ද අයිතිය ඇති මහජනතාවනි, ඡන්දය අනිවාර්යයෙන්ම භාවිත කරන්න
එළැඹෙන මහමැතිවරණය නියමිත දිනටම පැවැත්වෙන බව පැහැදිලියි. මහජනතාව ඒ පිළිබඳ දැඩි උනන්දුවකින් පසුවන මෙකල, මහමැතිවරණ වටපිටාව සහ ඉදිරිය පිළිබඳ අපි දැන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සමඟ කතාබහ කරමු.
*අපි තැපැල් ඡන්දය ළඟින්ම අරඹමු ?
තවදුරටත් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකිවූ රාජ්‍ය සේවකයන් සිටියි නම් ඒ අයට තම තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඉදිරියේදී අද (07) සහ (08) හෙට දෙදිනදීත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට පුළුවන්.
*මෙවර මැතිවරණයේ පසුබිම ගැනත් කෙටි පැහැදිලි කිරීමක් කරමුද?
මහමැතිවරණයට නාමයෝජනා 408ක් ඉදිරිපත් කෙරුණා. මෙවර දේශපාලන පක්ෂ 49ක් මහමැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. ස්වාධීන කණ්ඩායම් 282කුත් තරග කරනවා. ඒ අතර ජාතික ලැයිස්තු ද ඇතුළත්ව මුළු අපේක්ෂකයන් ගණන 8888ක් වෙනවා. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13421ක් විවෘත කෙරෙනවා. ඡන්ද ගණනය කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 2034කදී කිරීමටත් නියමිතයි. ඡන්ද දායිකාවන් වෙනුවෙන් මධ්‍යස්ථාන 107ක් වෙන් කෙරෙනවා. ඒ ඇතුළු හැම අතින්ම මැතිවරණ කොමිෂන් සභාව ඉදිරි මහමැතිවරණයට අදාළ කටයුතු වෙනුවෙන් හොඳ සූදානමකින් ඉන්නේ.
*මැතිවරණ නීති කඩකිරීමට අදාළ පැමිණිලි නිරාකරණය ගැන කිවුවොත් ?
ඇත්තෙන්ම පැමිණිලි අඩු ගණනක් තමයි මෙවරත් ලැබී තියෙන්නේ. ඉනුත් බොහොමයක් එකම සිද්ධිය පාර්ශ්ව ගණනාවකින් යොමු කළ අවස්ථායි. ඒ කොහොම වුණත් ඒ පිළිබඳ ඉදිරි කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්, පොලිසිය මැතිවරණ නීති කඩ කිරීම්වලට අදාළව ඉක්මනින් ක්‍රියාත්මක වී කටයුතු කරනවා. එතැනදී මැතිවරණ තරග බිම සම බිමක් බවට පත් කිරීම පිණිස සෑම මැදිහත්වීමක්ම අප කරනවා. එහිදී පක්ෂ, විපක්ෂ ආදී වශයෙන් කිසිම තත්ත්වයක්, තරාතිරමක් සලකා බැලීමක් මැතිවරණ කොමිෂන් සභාවට නැහැ. කොමිසම සියලු මැදිහත්වීම්, නීති ක්‍රියාත්මක කිරීම් ඒ වෙනුවෙන් කරන්නේ.
*ජනතාව දැනුම්වත් කිරීම් කළේ කොහොමද ?
සියලු ජනමාධ්‍ය හරහා අපි ඒ පිළිබඳ දැනුම්වත් කිරීම් කරනවා. එසේම, සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්දය පාවිච්චි කරන ආකාරය පිළිබඳ දැනුම්වත් කිරීමේ කටයුතු කෙරෙනවා. පෝස්ටර්, පත්‍රිකා ආදිය ඒ තැන්වල ප්‍රදර්ශනය කෙරෙනවා. ඡන්ද මධ්‍යස්ථාන නිලධාරින්ගේ සහාය අවශ්‍ය අවස්ථාවලදී ගත හැකියි. එසේම, පොලිසියටත් ඉදිරි මැතිවරණය පිළිබඳ දැනුම්වත් කිරීම් කර තියෙනවා. ඊට අමතරව සෑම දිස්ත්‍රික්කයකදීම ආබාධිත, තරුණ, කාන්තා, වැඩිහිටි ආදී ප්‍රජාවේ සෑම දෙනකුටම ඡන්දය, මනාප ප්‍රකාශ කිරීම් පිළිබඳ දැනුම්වත් කිරීම් කෙරෙනවා. ඒ දිස්ත්‍රික් මට්ටමෙන්. එසේම, මැතිවරණ කොමිෂන් සභාවේ අපිත් අපගේ ජංගම රථ යොදා ගනිමින් ප්‍රජාව හමුවට යමින් ළඟ එන මහමැතිවරණයේදී ඡන්දය භාවිතයේ වැදගත්කම හා එම නිවැරදි ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි කර දෙනවා.
*අඩු වැය බරකින් යුතුව මැතිවරණ පැවැත්වීම රටට හිතකරයි නේද ?
ඔව්. ඒත්, මෙරට මැතිවරණ ක්‍රමය වියදම් වැඩිවීම කෙරෙහි විවිධ අයුරින් බලපානවා. ඒත්, රජයත් මැතිවරණ වියදම් අවම කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. හැබැයි, අපේක්ෂකයන් වැඩි වෙනවා කියන්නේම තවත් අමතර වැය බරක් මැතිවරණයක් වෙනුවෙන් රජයට දැරීමට සිදු වෙනවා කියන එකයි. මහජනතාවගේ මුදල්නේ ඒ වෙනුවෙන් වියදම් කරන්නේ. අනෙක, තවදුරටත් ඒ ගැන විස්තර කරනවා නම්, විවිධ දිස්ත්‍රික් අනුව ඒ වියදම් වැඩිවන ප්‍රමාණත් එකිනෙකට වෙනස්. කොළඹින් කණ්ඩායමක් වැඩි වෙනවාට වඩා මහනුවරින් අලුතින් කණ්ඩායමක් එකතු වීමෙන් වැඩි අගයකින් වියදම වැඩි වෙනවා. ඒ දෙකටම වඩා පොලොන්නරුව වෙනස්. අම්පාර ඒ සියල්ලටම වඩා වෙනස්. ඒ ඡන්දදායකයන් අඩු වැඩි වීම්, මධ්‍යස්ථාන ගණන ආදියට අනුව යෙදෙන වියදම් වැඩි වන නිසයි.
* වියදම් සීමා කිරීමට විද්‍යුත් ක්‍රමයකට මැරුවිය නොහැකිද ?
සමහරු ඔය යෝජනාව කරනවා. ඒත් ඒ කවුරුත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයේ විය හියදම් ඉදිරිපත් කරන්නේ නැහැනේ. අපි කුඩා රටක්. ඒත්, මේ අපට තාක්ෂණය ඕනෑ නැතැයි කියනවා නෙවෙයි. හැබැයි, තාක්ෂණයේ වහලකු වෙන්නත් අපට බැහැනේ. අනෙක, කාර්යක්ෂමතාව පිණිසනේ විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම් කරමු කියලා සමහරු යෝජනා කරන්නේ. ඒත්, කොතැනද අපේ ඡන්ද විමසීම් අකාර්යක්ෂම. ඉතින්, එහෙමත් නැතිනම් අපට අපම නිපදවා ගත් තාක්ෂණික මෙවලම්, මෘදුකාංග ආදියෙන්ම තාක්ෂණික අවශ්‍යතා සපුරා ගනිමින් විද්‍යුත් ක්‍රමයට මැතිවරණ පැවැත්වීමත් කළ නොහැකි නම් අපට රටක් විදියට නැවත ඒ ගැන හිතා බලන්න වෙනවාමයිනේ. එහෙම නොවුණොත් රියැදුරු බලපත්‍ර, විදෙස් ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් මුද්‍රණය ආදියේදී වගේ අනෙක් රටවල සහාය ගන්න වෙන එක සාමාන්‍යයි. එවිට ඇතැම් විට පරමාධිපත්‍ය විදෙස් රටක් සතු වුවහොත් ඇතිවිය හැකි තත්ත්වය බැරෑරුම් වන්නටත් පුළුවන්.
* විදෙස්ගත ශ්‍රමිකයන්, බන්ධනාගාර රැඳවියන් ආදීන්ටත් ඡන්ද අයිතිය හිමි ද?
අනිවාර්යයෙන්ම. ඡන්ද දින ඡන්ද පොළට යෑමට නොහැකි වන සියලු දෙනාගේ ඡන්ද අයිතිය වෙනුවෙන් අපි යෝජනා ඉදිරිපත් කර තියෙනවා. ඒ ඇතුළු යෝජනා 43ක් අපි රජයට ඉදිරිපත් කර දැන් බොහෝ කලක් වෙනවා. යෝජනා කිරීම මිසෙක අපිට නීති හදන්න බැහැනේ. නීති සම්මත වූ පසුවයි ඊට අදාළ නිසි ක්‍රමවේදයක් හදමින් අපට ඒවා ක්‍රියාවට නංවන්න පුළුවන් වෙන්නේ. අපි හිටපු නීතිපතිවරුන්ට ලිඛිතව ඒ යෝජනා ඉදිරිපත් කර තියෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව ඊට අදාළ නීති සම්මත කළ පසුව ක්‍රියාත්මක වීමට අපි මඟ බලා සිටිනවා. ඒත්, දැන් කලෙක සිටම එය එසේ වන බවක් දක්නට ලැබුණේ නැහැ. අපේක්ෂකයන්ගෙන් අය කෙරෙන ඇප මුදල් ප්‍රමාණ වැඩි කිරීම ඇතුළු යෝජනාත් එසේමයි.
ඒක එහෙම තිබියදීම, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඡන්ද අයිතිය ගැන අපට දෙවනුව සලකා බලන්නට වෙන්නේ, මෙරට ජනතාවට තවදුරටත් අතිශය දුෂ්කරතා පවතින නිසයි. වතුකරයටත් වඩා අඩු පහසුකම් ඒ අවට ඇතැම් ගම්වල ජනතාවට තියෙනවා. ඔවුන්ට කිසිවකුගෙන් පිළිසරණක් නැති තත්ත්වයක් පෙනෙන්නට තියෙන්නේ. අනෙක, බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ පවා එවැනි තැන් කොතෙකුත් තියෙනවා. ඉතින් ඒ අනුව අපට නැවත හිතා බලන්නට පෙළඹිය යුතු දේවල් බොහොමයක් තියෙනවානේ. ඒ කොහොම වුණත් හැමෝටම පොදු විසඳුම් මිසෙක එක් එක් කොටසකට අදාළ ගැටලු සඳහා විසඳුම් දීම ප්‍රායෝගිකව අපහසුයි. අපි එතැනින් නැවතත් විදෙස් ශ්‍රමිකයන් දෙසට හැරුණොත්, ලෝකයේ කිසිම රටක විදෙස් ශ්‍රමිකයන්ට මුළුමනින්ම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දී නැහැ. ඉන්දියානුවන් පවා මවුරටට ඇවිත් ඡන්දය ප්‍රකාශ කරන්නේ. අනෙක් අතට ඡන්ද දායකයන්ට ඡන්ද අයිතිය දීම වගේම අපේක්ෂකයන්ට ප්රචාරක කටයුතුවලටත් අවස්ථාව දිය යුතුයි. එය ප්‍රායෝගිකව ගැටලු මතුවන තවත් තැනක්.
* ජනමාධ්‍ය හරහා ප්‍රචාරය සමානව නොලැබෙන බවට අපේක්ෂකයන්ගෙන් චෝදනා එල්ල වෙනවා ?
ජනමාධ්‍ය සඳහා උපමාන අපි පැහැදිලිව ඉදිරිපත් කර තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා නම් ගැටලු ඇති වන්නේ නැහැ. එසේම මාධ්‍ය හැසිරීම් නිරීක්ෂණය කරමින්, ඒවා කඩ කරන අවස්ථාවලදී අප ඊට මැදිහත් වෙනවා. ඒත්, බහුලව දක්නට ඇති දෙයක් වන්නේ, අද ජනමාධ්‍යයේ බහුතරයක් පුවත් හඹා නොයෑමයි. ඒ වෙනුවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන දේවල්වල සත්‍යතාව තහවුරු කර ගැනීමට අපෙන් කරුණු විමසීම් පිළිබඳ බොහෝ විට දක්නට ලැබෙනවා.
*මැතිවරණ තරග බිම සම එකක් කිරීම පිණිස ඔබ නිතර කරනවා ?
ඔව්. අපි ඒ වෙනුවෙන් තමයි මැතිවරණ කාල වකවානුවේදී ඇපකැපවී සිටින්නේ. ඊට අකුල් හෙළන, බාධා පැමිණෙන අවස්ථාවලදී අපි මැදිහත් වෙනවා. පොලීසියටත් ඒ පිළිබඳ කටයුතු කිරීමට උපදෙස්, මඟ පෙන්වීම් කර තියෙනවා. මේ වන විට ගැටලු අවම තත්ත්වයක් යටතේ ඉදිරි කටයුතු වීමට ඒ මැදිහත් වීම බෙහෙවින් උපකාරී වන බවක් පෙනෙනවා.
*ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙනුත් අවධානය යොමු කිරීම අවශ්‍යයි ?
ඡන්ද මධ්‍යස්ථාන ප්‍රවේශ පහසුකම් ආදිය ඔවුන් වෙනුවෙන් සපයා දීමට මෙවරත් කටයුතු කර තියෙනවා. එසේම සංඥා භාෂාවෙන් කථන අපහසුතා ඇත්තන්ට සන්නිවේදන පහසුකම් සැලසීම මේ වන විට බොහෝ රාජ්‍ය උත්සවවලදීත් දක්නට ලැබීම සතුටුදායකයි. දෘශ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් ඡන්ද පත්‍රිකාව ඔවුන්ගේ පහසුව පිණිස වන අයුරින් සකස් කර දීමෙන් පහසුකම් සැලසීමටත් කටයුතු කර තියෙනවා.
* රාජ්‍ය නිලධාරින්ට හා වැඩිහිටි ප්‍රජාවට පහසුකම් සලසා දීම ගැන කතා කළොත් ?
අපි හැකි උපරිමයෙන් පවතින පහසුකම් අනුව කටයුතු කරනවා. ඒත්, ඇතැමුන් තවදුරටත් පහසුකම් ඉල්ලා සිටිනවා. මහජන මුදලින්නේ ඒ සියල්ල දෙන්නේ. ඒත් ඇතැමුන් ඉටු කළ නොහැකි තරමට රජයෙන් පහසුකම් අපේක්ෂා කරනවා. ගමේ ප්‍රජා ශාලාවේ පැවැත්වෙන වැඩිහිටි සමිතියට නොගියොත් දඩ පැවරෙන නිසා ඊට නොවැරදීම යන සමහර වැඩිහිටියන් ඡන්දය ප්‍රකාශ කිරීමට එතැනටම යෑමට ප්‍රවාහන පහසුකම්, පඩි පේළි කපා සකස් කිරීම් ආදියෙන් රජයෙන් අපේක්ෂා කරනවා.
*පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය ආදියත් සමඟ බලය පිහිටුවීමේදී අභියෝගයකට ලක්වෙලා නේද ?
ඒ ඇතැමුන්ගේ හිතලුවක්. සමානුපාතික ක්‍රමයටනේ ඡන්දය පැවැත්වෙන්නේ. ඒ අනුව කොට්ඨාසයකට කෙනකු සිටිය යුතු බවක් ආදී වශයෙනුයි අවධාරණය කෙරෙන්නේ. ඉතින්, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැටලුවක් වෙන්නේ නැහැ. මං එහෙම කියන්නේ මේ ක්‍රමය තුළ පළාත් පාලන ආයතනවල සභාපති සහ සභිකයන් ගණනාවක් පමණක් සිටින නිසයි. ඒ මිසෙක කිසිම තැනක පක්ෂ, විපක්ෂ කියලා කණ්ඩායම් බෙදීමක් නැහැනේ. ඒක මෙරට ජාතික දේශපාලනයට අනුරූපව හදා ගත් දෙයක්නේ.
මෙරට ප්‍රාදේශීය දේශපාලනය දේශපාලනීකරණය වීම තුළයි ඔහොම ගැටලු මතුවී තියෙන්නේ. ඒත් දියුණු රටවල එහෙම නෙවෙයි. ඒ රටවල ප්‍රාදේශීය පාලනය දේශපාලනීකරණයෙන් තොරයි. ඒක ඒ රටවල විවිධ දේශපාලන මතිමතාන්තර දරන අය එකට එක්වී ස්වේච්ඡාවෙන් වැඩ කරන තැනක්. ඒත් අද වන විට අපේ ප්‍රාදේශීය දේශපාලනඥයනුත් වැටුපට හුරුවෙලා. ඉතින්, අපේ ප්‍රාදේශීය දේශපාලනය එහි මූලික අරමුණුවලට පවා පටහැනි තැනකට ගිහින්.
*ඉදිරියේදී තවත් මැතිවරණ එනවා ?
අපි ඊට හොඳින්ම සූදානම්. ඡන්ද අයිතිය ඇති මහජනතාවගෙන් එය අනිවාර්යයෙන්ම භාවිත කරන්නැයි ඉල්ලා සිටිනවා.
නුවන් මහේෂ් ජයවික්‍රම
ඡායාරූපය – රංජිත් අසංක