චිත්රාගාර දර්ශන මත්තේම සමස්තය දිගහැරුණු ඒ කාලයේ සිනමා පට බොහොමයක් වේදිකා නාට්‍යයක් ෂූට් කළා වැනි ගතියක් ගෙන ආවේය. දෙබස් පවා, අතිශය කෘත්‍රිම ආකාරයේ හැඩයක් මතු කළේය. ඓතිහාසික චිත්‍රපට දෙබස් ආදිය තේරුම් ගැනීම සඳහා පාඨකයා සෑහෙන පමණකට ඉතිහාසය හදාරා තිබිය යුත්තේය. “අයියා ඔබ මා කැඳවාගෙන යන්නේ ඔබ සිටින රාජ්‍යයට ද…? ” “යන්ට එපා අයියා, යන්ට එපා” යැයි රුක්මණී දේවියගේ දෙබස් කාණ්ඩය සිහියට ගන්න. එය පසුකලෙක කොලු ගැටව් විනෝදය පිණිස භාවිත කරන ලද්දේ එහි ඇති අධි යථාර්ථවාදීභාවය නිසාමය.
බදුල්ල – මහියංගණය මාර්ගයේ ඇති අඹගහඔය වංගුව දැන් මළවුන්ගේ නගරයක් සේ අප මතකයට එන්නේය. සිසුවියෝ දෙදෙනකුට මරණයට පත් කර පමණක් නොව, සෑහෙන පමණ දෙනාගේ අතපය මැදින් සහ අගින් කඩා දමන ලද්දේය. කොඳු කිහිපයක්ම යකඩ පටි දමා තද කරන තැනට කටයුතු කළ, බස් අනතුර සිදුවන්නේ මෙතැනය. ඔය ආකාර වංගු සහිත පාරවල් දිගේ බසයක් පැදගෙන යන්නා යනු, සංයමයේ හොඳම එකෙන් සන්නද්ධ විය යුතු අයෙකි. වංගු බහුල මෙවන් මාවත් වනාහි හරියට නොගියහොත්, කනත්තට යන පාර වන්නේය. මෙම තීරුව පළමුව අවධාරණය කරනුයේ ඔය වැනි චාරිකා සඳහා ප්‍රමිතිගත රියැදුරන් භාවිත කරන ලෙසය. එහෙම කිව්වා කියා අප ළඟ ඒ ගණයේ රියැදුරු බලඇණි නැත්තේය. බස් එකක් කතා කරගත් විට, ඒ සමඟ එන රියැදුරා සමඟ ගමන යනවා හැර, ඔහුට ලයිසන් ඇත්තේ ද යනාදී කාරණා, අප පරික්ෂාවට ලක් කරන්නේ නැත. ලයිසන් තිබුණා කියා ඔහුගේ පෙර වැරැදි ඇත්තේ ද නැද්ද යන්න ද අපට තහවුරු කරගත නොහැක්කේය. දරුවන් සමඟ යන චාරිකාවක් සඳහා සහභාගි වන රියැදුරා සමඟ විනාඩි දහයක පමණ සාකච්ඡාවක්, සංවිධායක මණ්ඩලය කළ යුතු යැයි මේ තීරුව යෝජනා කරනුයේ, ඔය වැනි කාරණා අවධාරණය පිණිසය. ඒ ආකාරයේ ඉන්ටවීව් එකකට මුහුණ දුන් විට, යම් සංයමයක්, රියැදුරු මනසේ ගොඩ නැඟෙන්ණේය. එය ගමන අවසානය වන තෙක් තබා ගැනීම නඩේගුරාගේ කාර්යය විය යුත්තේය.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් චාරිකාවේ යෙදුණු බස් රථයේ රියැදුරු තැන, රියැදුරු බලපත්‍රය අහිමිවූ අයෙකු බව ඊයේ දිනමිණ සිය මුල් පිටුවෙන් වාර්තා කළේය. බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ රියැදුරු බලපත්‍රය අධිකරණය මඟින් මාස පහකට අත්හිටුවා ඇති බව විමර්ශකයෝ අනාවරණය කරගෙන ඇත්තාහ. එහෙම අයෙක් මේ ආකාරයට රිය පදවන ලද්දේ කෙසේ ද යන්න තවම අනාවරණය වී නැත. එක්කෝ මේ ඩ්‍රයිවර් මහතා, හොරට බලපත්‍රයක් සාදාගෙන තිබේ. නැතිනම් දඩ කොළයක් ලියාගෙන ඇතිවා විය හැකිය. ඔහු සිටින්නේ ද දැඩි සත්කාර ඒකකයේ බැවින් ඇත්ත තත්ත්වය සොයා ගැනීම සඳහා තව දින කිහිපයක් ගතවෙනවා ඇත.
නඩුකරයක් මඟින් මේ ආකාරයට රියැදුරු බලපත්‍රය කැන්සල් කරවූ කල්හි, අපේ රියැදුරු මහතුන් සැලෙන්නේ නැත. එහෙ නඩුව යද්දී මෙහෙ බස් පදින්නේය. ඒ සඳහා භාවිත වන වංගු කිහිපයක් ඇත. එකක් නම් රියැදුරු බලපත්‍රය නැතිවූවා කියා, පොලිසියේ පැමිණිල්ලක් දමා, අලුතින් ලයිසන් එකක් ගැනීමය. අනික දන්නා කියන රාලහාමි කෙනෙක් වෙත කීයක් හරි අත මිට මොළවා, දඩ කොළයක් ලියා ගැනීමය. මේ දෙයාකාර වංගු ගැසීමෙන් අවසන් වන්නේ, අඹගහඔය වංගුව වැනි ස්ථානහිදී ජීවිත හානි කරමින් බසය කරණම් ගැසීම දක්වා ගමන් කිරීමෙනි.
අපගේ පළමු ඉල්ලීම වන්නේ යම් රියැදුරෙක්ගේ බලපත්‍රය අධිකරණයක් මඟින් තාවකාලිකව හෝ අත්හිටවූ වහාම ඒ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට පැය දෙක තුනක් තුළ, ඇතුළත් විය යුතු බවය. මෙය අදාළ අධිකරණය මඟින් කෙටි පණිවිඩයක් ඔස්සේ ක්ෂණිකව ද ඊළඟට නඩු තීන්දුවේ පිටපතක් තැපෑලෙන් ද යන ආකාර අනුව සිද්ධ කළ හැකිය. රියැදුරු විනයේ පරිහානිය මේ ආකාරයට ජීවිත සෑහෙන ප්‍රමාණයකට දිනපතා වගකියන්නේ හෙයින්, මේ රටේ වහවහා නිවැරදි කළ යුතු ආස්ථානයක් බවට එය පත්වන්නේය.
රථවාහන අනතුරු 150ක් පමණ මේ රටේ දිනපතා සිද්ධ වන්නේය. අතපය ආදිය කැඩී කාලයක් ලෙඩ ඇඳේ ඉන්නා තත්ත්වයේ සිට සදාකාලික අබ්බගාතභාවය දක්වා මේ හේතුවෙන් පුද්ගලයෝ අසරණ වන්නාහ. ජීවිත හයක් පමණ දිනපතා මේ නිසා අපට අහිමි වන්නේය. උදෑසන හොඳින් හැඳ පැලඳ ගෙදරින් නික්මී, මඟට බසිනා හය දෙනෙක් යළි ගෙදර එන්නේ මාර්ග අනතුරු හේතුවෙන් මළමිනී බවට පත්වී නම්, ඒ සඳහා ළඟ ළඟ විසඳුමක් අවශ්‍යය. මේවා ආණ්ඩුවේ ලොකු පුටු ගත යුතු තීරණ නොවේ. ප්‍රවාහනය සමඟ සම්බන්ධ ආයතන එකතුව වහා පියවර ගතයුතු දේය. රථ වාහන පොලිසිය මෙහි ක්‍රියාශීලි භූමිකාවක් නියෝජනය කරනවා ඇත.
ඔය ආකාරයේ සැලසුමක් වහවහා නිමවා මහජන නියෝජිතයන් වෙත යෝජනා පත්‍රයක් ලෙස ප්‍රවාහනයට සම්බන්ධ ආයතන එක්වී ඉදිරිපත් කර, දැනෙන ක්‍රියාමාර්ගයක් ගතයුතු බව දිනමිණ අද දවසේ අවධාරණය කරන්නේය. එසේ නැත්නම් අපට සිදු වන්නේ, රුක්මනී දේවිය විසින් කපටි ආරක්ෂකයා චිත්‍රපටයේ පවසන දෙබස රියැදුරු මහතාට, කොඳුර කොඳුර ගමනේ යෑමටය.