පසුගිය රජය සමයේ විදේශ සමාගම් දෙකකින් විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීමට එරෙහිව ගොනුකොට ඇති පෙත්සමෙහි වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇත.
හිටපු ජනාධිපතිවරයා තවදුරටත් එම තනතුරේ කටයුතු නොකරන බැවින් මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවකු ලෙස ඔහුගේ නම ඇතුළත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා පෙත්සම්කාර සමාගම මඟින් ඉකුත් නොවැම්බර් මස පළමු වැනිදා ගොනු කර තිබූ මෝසමක් මඟින් ඉල්ලා තිබිණි.
එම ඉල්ලීම අභියාචනාධිකරණයෙන් පිළිගැනීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇත.
මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන්රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය කෙරිණි.
එම අවස්ථාවේදී පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා කියා සිටියේ තමන් පෙත්සම සම්බන්ධයෙන් ප්රතිවිරෝධතා ගොනු කිරීමට සූදානම් බවය. මෙම පෙත්සම කඩිනමින් විභාගයට ගෙන අවසන් කළ යුතු බව ඔහු සඳහන් කළේය.
වගඋත්තරකාර සමාගම් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරුන් කියා සිටියේ අතුරු තහනම් නියෝගය හේතුවෙන් තමන්ට විශාල අගතියක් සිදු වී ඇති බවය.
මෙම කොන්ත්‍රාත්තුව තමන්ට ප්රදානය කර තිබියදීත් ඒ අනුව ක්‍රියාත්මක වීමට නොහැකි වීමෙන් තමන් ඉතා අපහසුතාවට පත් වී ඇති බව ද එම සමාගමක් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ කේ. කනග්ඊශ්වරන් මහතා සඳහන් කළේය.
එබැවින් හැකි ඉක්මනින් මෙම අතුරු නියෝග ඉල්ලීම ඉවත දැමීම සම්බන්ධයෙන් විභාගයක් පවත්වන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය විදේශ ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස්දාහක් මිල දී ගැනීමට එරෙහිව දැනට අධිකරණයෙන් පනවා ඇති අතුරු නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා වගඋත්තරකාර සමාගම් දෙකක් විසින් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා සහ ප්රතිවිරෝධතා ගොනු කිරීමට එහිදී විනිසුරු මඬුල්ල පාර්ශ්වකරුවන්ට අවසර ලබා දුන්නේය.
එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා මෙම පෙත්සම දෙසැම්බර් 9 වැනිද කැඳවන ලෙස ද විනිසුරු මඬුල්ල නියම කළහ.
එපික් ලංකා පෞද්ගලික සමාගම මඟින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස තසෙස් සමාගම, ජස්ටි ටයිම් සමාගම, ආගමන විගමන පාලකවරයා, හිටපු මහජන ආරක්ෂක ඇමැතිවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාර සමාගම වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටියේය.