Home » වඳ චෝදනාවෙන් වෛද්‍ය සාෆි නිදහස්

වඳ චෝදනාවෙන් වෛද්‍ය සාෆි නිදහස්

by yasara
November 6, 2024 12:58 pm 0 comment

සිසේරියන් සැත්කම් කරද්දී නැවත දරුඋපතක් සිදුවිය නොහැකි ලෙස මව්වරුන් වඳබාවයට පත් කරනා බවට ඇතැම් පාර්ශ්ව විසින් චෝදනා කරනු ලැබූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි මහතා ඊට අදාල නඩුවෙන් නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.

වසර පහකටත් අධික කාලයක් තිස්සෙ ඔහු සම්බන්ධයෙන් කළ විමර්ශනවලට උදෘත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති වෙත යොමු කර තිබුණු අතර ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට සාක්කි නැති හෙයින් ඔහුට එරෙහිව ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු නොවන බව නීතිපතිවරයා අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් වඳබාවයට පත් කළැයි සැක කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ මව්වරුන් 130කට ආසන්න පිරිසකට නැවත දරුවන් පිළිසිඳගෙන ඇති බවයි.

එසේම පැලෝපීය නාල අවහිර කර ඇත්දැයි තහවුරු කර ගැනීමට අදාල පරීක්ෂණ සිදු කරවා ගැනීමට මව්වරුන් දෙදෙනකු අවස්ථා දෙකකදී ඉදිරිපත් වූ අතර එම පරීක්ෂණවලට අනුව ඔවුන් දෙදෙනාගේ පැලෝපීය නාල අවහිර වී නැතැයි අනාවරණය විය.

වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි මහතා 2019 මැයි මස 24 වැනිදා කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඔහු වැඩිදුර විමර්ශන සඳහා එවකට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙරිණි.

ඒ අනුව මාසයක පමණ කාලයක් ඔහු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගනිමින් විමර්ශනය කළේය.

එලෙස විමර්ශනය කිරීමෙන් පසු එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් දැනුම් දුන්නේ වෛද්‍ය සාෆි මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති හෙයින් ඔහු එම චෝදනාවලින් මුදා හැර දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කරන බවයි.

මෙම විමර්ශනය සිදු කරද්දී ඊට බාධා කරමින් තර්ජනය කළ බවට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ, සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා ඇතුළු නිලධාරීහු අතුරලියේ රතන හිමිට සහ කුරුණෑගල රෝහලේ එවකට නියෝජ්‍ය අධ්‍යක්ෂ කැඳන්ගමුවට එරෙහිව මීට පෙර පැමිණිලි කළහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT