නඩු භාණ්ඩයක් ලෙස පිළියන්දල පොලිස් ස්ථානයේ ගාල් කර තිබුණු යතුරුපැදියක් සොරකම් කළ එම පොලිස් ස්ථානයේම සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයකු සහ සහෝදරයන් වන මෝටර් රථ කාර්මිකයන් දෙදෙනකු පිළියන්දල පොලිසිය මඟින් පෙරේදා (04) අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල හිල්ඩා පටුමඟේ පදිංචිකරුවකු වන උප පොලිස් පරීක්ෂක රන්දික වික්රමරත්න (29), ගෝනපොල, කුඹුක උතුර විටවිල පදිංචිකරුවන් වන කේ.ඩී.ටී. ලක්ෂාන් (22) සහ කේ.ඩී.ටී. මල්ෂාන් (24) යන සැකකරුවන් තිදෙනා කැස්බෑව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය ඔක්තෝබර් 23 වැනිදා රාත්රී කාලයේදීය.
මෙම සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල පොලිසියට ඉදිරිපත් කර ඇත්තේ පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක පී.ඒ.ඩී.එස්. අත්තරගම මහතාය.
පිළියන්දල පොලිස් ස්ථානයට වාර්තා වූ සොරකමක් සම්බන්ධයෙන් පසුගිය වසරේ ජුනි 23 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව BFL 5790 අංකය දරන මෙම බජාජ් ඩිස්කවරි වර්ගයේ යතුරුපැදිය වැඩි ආරක්ෂාවට පොලිස් ස්ථානයේ ගාල් කර තබන ලෙස අධිකරණය දැනුම් දී ඇත. ඒ අනුව වසරකට වැඩි කාලයක් පොලිස් ස්ථානයේ ගාල් කර තිබුණු යතුරුපැදිය සොරාගෙන ගොස් ඇත්තේ පොලිසියේම උප පොලිස් පරීක්ෂකවරයකුගේ මෙහෙයවීමෙන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සොරාගත් යතුරුපැදිය සොයා විමර්ශන පවත්වා සැකකරුවන් යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (04) බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. උප පොලිස් පරීක්ෂකවරයාට ද එවැනිම ආකාරයේ යතුරුපැදියක් ඇති බැවින් මෙම යතුරුපැදියේ කොටස් ගලවා එම යතුරුපැදියට දමා ගැනීමට මෙම සොරකම කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගන්නා විට සොරාගත් යතුරුපැදියේ කොටස් රැසක් පොලිස් නිලධාරියාගේ යතුරුපැදියේ අමුණා තිබී ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ