දොස්තරලා 4කට ඇප
එක් වෛද්‍යවරයකුට වරෙන්තු
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට සායනය තුළදී පහර දීමට තැත් කිරීම, බැණ තර්ජනය කිරීම, රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාවේ… වෛද්‍යවරුන් හය දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ අධිකරණයේ පෙනීසිටි වෛද්‍යවරුන් හතර දෙනා එක් අයකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමටත් අධිකරණයේ පෙනී නොසිටි වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයකුට වරෙන්තු නිකුත් කිරීමටත් එක් අයකුට නොතීසි නිකුත් කිරීමටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා පෙරේදා (04) නියෝග කළේය.
ඇප මත මුදාහරිනු ලැබුවේ දහනායක යාපා දිනේශ් චතුරංග, වීරසූරියගේ එරපතිනාත් විජේසූරිය, ජයවික්‍රම කංකානම්ලාගේ සංඛ ප්‍රදීප් ඒකනායක, කේසර දුලංග කුමාර යන වෛද්‍යවරුන් සිව්දෙනෙකි. අධිකරණයේ පෙනී නොසිටි රජගල්බොඩගේ සුධීර ලක්ප්‍රිය යන අයට නොතීසි නිකුත් කිරීමටත් ලහිරු සසංග යන අයට වරෙන්තු නිකුත් කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා යන අයට 2020.10.23 වැනි දින සායනය තුළදීම නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වී පහරදීමට තැත් කිරීම, බැණ තර්ජනය කිරීම, රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ සැකකාර වෛද්‍යවරුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. ගාල්ල පොලීසියේ උප පොලිස් පරීක්ෂක විදුර මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලද අතර සිසිර වීරසූරිය, බුද්ධි ජයවර්ධන නීතිඥ මහත්වරුන් සමඟ නීතිඥ ප්‍රසිත වල්ගම මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ. විත්තිකරුවන් වෙනුවෙන් රවින්ද්‍ර දාබරේ, සමිත් ජාගොඩ නීතිඥ මහත්වරු පෙනී සිටියහ. වැඩිදුර නඩු විභාගය ලබන අප්‍රියල් 21 වැනිදාට කල් තබන ලදි.
දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ