බංග්ලාදේශය සඳහා අදානි සමාගම කෙවිට දික් කරනු ලබන්නේ හුදු සමාගමක් සහ රටක් අතර ගනුදෙනුවකට එහා ගිය ආකාරයටය. එහි එක් පදනමක් ලෙස ඉන්දීය දේශපාලනය තිබෙනවා විය හැකිය. එසේ වුවත් සපුරා ඒ සියල්ල දේශපාලන න්‍යාය පත්‍රයක් සඳහා ලඝු කිරීමට මේ තීරුව නොකැමැත්තේය. රටක් පරිස්සම් කර ගත යුතු කාරණා සම්බන්ධයෙන් ඇති අවසැලකිල්ල හේතුවෙන් මේ ආකාරයට බංග්ලාදේශය අසරණව ගොස් ඇත්තේය.
බංග්ලාදේශය වෙත රතු බිලක් එවා ඇත්තේ අදානි සමාගමය. අපේ ගෙවල් සඳහා රතු බිල ආ සැණින් ගෙදර මිනිස්සු දිව යන්නේ උකස් කඩය වෙතය. දරුවාගේ කරාබු කුට්ටම තබා කීයක් හෝ ගෙන, අනික් අතට ඒ මුදලෙන් ලයිට් බිල ගෙවා දමා ඒම අප සිරිතය. මෙයිට වෙනස් තත්ත්ව යටතේ බිල ගෙවන පිරිස්ද සිටිය හැක්කේය. ඒ තත්ත්වයට ද ළඟා විය නොහැකි කල, මණ්ඩලයේ ලොරිය ඇවිත් කරන්ට් කපා යන්නේය. මේ ආකාරයේ ඉරණමකට ගෙයක්, කර්මාන්ත ශාලාවක් මුහුණ දීම අසා ඇති කතාවක් වුවත් රටකට රතු ලයිට් බිලක් ඒම අප අසනුයේ පළමු වතාවටය. බිල එවන්නේ අදානි සමාගම විසින් බංග්ලාදේශය වෙතය.
ඩොලර් මිලියන 800ක බිල්පතක් බංග්ලාදේශය නොගෙවා ඇත්තේ බැවින් එරටට සපයන විදුලියෙන් අඩක් කපා දැමීම සඳහා අදානි සමාගම තදබල තීන්දුවක් ගෙන ඇත්තේය. සමාගම පැත්තෙන් කතාව ඇත්තය. මේ ආකාරයට රටක් පොලු තැබූ විට සමාගමකට එය පසෙකට දමා සිටිය නොහැකිය. ගාස්තු ලබාගත හැකි සියලු මාර්ග අවුල් වී ඇත්නම්, ඉදිරිය සලකා සැපයුම නතර කිරීමට සිදුවනු ඇත. බංග්ලාදේශය දැන් සිටින්නේ එහෙම බිලක් ගෙවිය හැකි ආර්ථිකයක නොවේ. රතු බිලක් එන විට අප ඉන්නා තත්ත්වයේ බැවින්, ටික ටික ගෙවීම සඳහා ඔවුහු සමාගමෙන් කල් ඉල්ලා සිටින්නාහ. හිඟ ගෙවීම් ප්‍රමාණය බැර කිරීම වැඩි කර ඇත්තේ වුවද සමාගම ඒ ගැන නොඉවසා, සකල සැපයුම නතර කිරීම සඳහා දැන් උත්සාහ කරන්නේය. බංග්ලාදේශයේ විදුලි සැපයුමෙන් 10% ක ප්‍රමාණයේ සිටින්නේ අදානි සමාගමය. මේ නිසා ප්‍රශ්න මැද්දේ වුවත් අදානි ශේප් එකේ තබා නොගතහොත් බංග්ලාදේශය වහාම පනහේ දශකය සඳහා පසුබා යන්නේය.
මේ පූර්විකාව වූ කලී බංග්ලාදේශ ප්‍රශ්නය සහ තත්ත්වය අවබෝධ කරගෙන අපේ ගමන යා හැකි ආකාරය සඳහා වූ කතාවක පසුබිමය.
ඊයේ දිනමිණ වාර්තා කරන ලද්දේ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය සපුරා නවතා දැමීමට රජය තීරණය කළ බවය. අවශ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යෑම අපේක්ෂාව වුවත් එතැනදී පෞද්ගලීකරණය සඳහා ඉඩක් නොමැති බව මණ්ඩලය කියා ඇත්තේය. විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය කිරීම මෙහි පළමු පියවර වේ. රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකිරීම ආණ්ඩුවේ තීරණය බැවින්, සම්පූර්ණයෙන් රජයට අයත් ස්වාධීන පද්ධති ක්‍රියාකාරිත්වයක් සහිත ශක්තිමත් තනි ගැනුම්කරුවෙක් ලෙස විදුලිබල මණ්ඩලය ක්‍රියා කරනු ඇත.
විදුලිය යන්න අපට දැනෙන්නේ ස්විච් එක දැමූ විට වැඩේ සිද්ධ වීම ලෙස වුවද විදුලිය සඳහා වූ යෝධ ක්‍රියාවලිය තුළ ඒ සඳහා ප්‍රධාන පියවර තුනක් ඇත්තේය. ජනන, සම්ප්‍රේෂණ, බෙදාහැරීම් යන මෙම ත්‍රිවිධ අංශ සඳහාම රාජ්‍ය යන්ත්‍රණය බලගන්වන බවට මණ්ඩලය කියා සිටින ලද්දේ විදුලියෙන් සවිමත් දේශයක් ගොඩනැඟීමේ සිය සැලසුම ප්‍රකාරවය. මේ ත්‍රිවිධ අංගයන් සඳහා අයත් මූල්‍ය හා කාර්ය පරිපාලන අංශ, ස්වාධීන යන්ත්‍රණයක් ඔස්සේ සිදු කිරීම ද මණ්ඩලයේ අපේක්ෂාව බවට ලියවී තිබුණි.
මේ රටේ විදුලි ඉල්ලුම වසරකට 6% බැගින් වර්ධනය වන්නකි. එය ද සැලකිල්ලට ගනිමින් වත්මන් විදුලි ඉල්ලුම සඳහා ආමන්ත්‍රණය අපගේ පළමු කාර්යය වන්නේය. ඒ කුමක් හෝ බඩට දාගෙන කුසගිනි නිවා ගැනීම වැනි ක්‍රියාවකි. එහෙම වූවා කියා යමෙක්ගේ ආහාරපාන අවශ්‍යතාව නිසි ආකාරයෙන් ඉටුවන්නේ නැත. ඒ පරිදිම කොතැනින් හෝ අමුණාගෙන විදුලිය ලබාදුන්නා කියා අපගේ විදුලිබල සැපයුම විධිමත් වන්නේ නැත. මේ රටේ ජනයාගේ ජීවිත ආලෝක වන්නේ විදුලිය සැම විට ලබාදුන් විට පමණක් නොවේ. එය අඩු මිලකට ලබාදීම ද සිදුවිය යුත්තේය. දැන් කාලයේ හැටියට නම් පඩියෙන් වැඩිම බිල් යන එකක් වී ඇත්තේ විදුලියය. මේ නිසා පවුලකට, කර්මාන්තයකට බරක් නොවන විදුලි බිලක් ලබාදීම රටේ සමස්ත බර සැහැල්ලු කිරීමක් වන්නේය.
ඒ ආකාරයට සෑම රටක්ම සිය රටේ බලශක්තියේ සුරක්ෂිතභාවය පිළිබඳව කල්පනා කරන්නේය. එහෙම කියා විදුලි ජනනය අපට පාලනයක් නැති අංශයක් අතට පත්කළ කල්හි විඳවන විපාකය සඳහා ළඟම උදාහරණය බංග්ලාදේශය වන්නේය. එමඟින් අප වෙත පහදා දෙන්නේ බලශක්ති ජනනය සෑම විටම රාජ්‍යයේ ආධිපත්‍ය තුළ රඳවා පවත්වාගත යුතු බවය. එසේම විදුලිබල ක්ෂේත්‍රය නිරන්තරයෙන්ම රාජ්‍ය හිමිකාරීත්වය යටතේ ධාවනය කරවිය යුතු බවය. ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නොකිරීම සඳහා ගෙන ඇති තීන්දුව ‘මල් පහයි’ කියා මේ තීරුව සලකන්නේ එහෙයිනි. එම තීන්දුව පමණක් අගයා මේ වැඩේ අවසන් වන්නේ නැත. පාඩු ලබන විදුලිබල ක්ෂේත්‍රය ඉන් මුදාගැනීම සහ එහි තිරසරභාවය සඳහා ද නව සැලසුමක් ඇති කළ යුතුය.