Sunday, April 20, 2025
Home » තෙල්බැද්ද පාසලට අඩුපාඩුවක් වුණු ගොඩනැඟිල්ලක ඉදිකිරීම් අරඹයි
දිනමිණ පුවත පල දරයි

තෙල්බැද්ද පාසලට අඩුපාඩුවක් වුණු ගොඩනැඟිල්ලක ඉදිකිරීම් අරඹයි

by sachintha
November 5, 2024 1:08 am 0 comment

දිනමිණ පුවත්පතේ ඉකුත් අප්‍රේල් මස 29 වැනි දින පළ වූ “තෙල්බැද්ද වත්ත ඉස්කෝලේ අඩුපාඩු ගොඩයි. දරුවන් ඉගෙනගන්නේ ටකරන් මඩුවල” නමැති ලිපියෙන් පෙන්වා දුන් බදුල්ල අධ්‍යාපන කලාපයට අයත් බ/ තෙල්බැද්ද වත්ත, අංක 01 දෙමළ විද්‍යාලයේ දරුවන්ට ප්‍රමාණවත් ගොඩනැඟිලි පහසුකම් නොමැති වීමේ ගැටලුවට විසඳුමක් ලබාදෙමින් එම පාසලට නව පන්ති කාමර ගොඩනැඟිල්ලක් ඉදි කර දීමට ඉදිරිපත් වූ පරිත්‍යාගශීලි මහත්මියකගේ අනුග්‍රහය මත එහි ඉදිකිරීමට යෝජිත නව ගොඩනැඟිල්ල සඳහා මුල්ගල් තැබීය.

බදුල්ල කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) එච්.ජී. ජයතිස්ස හා බදුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සම්පත් ප්‍රසන්න බටුගෙදර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා එම පාසල් පරිශ්‍රයේදී මෙම කටයුත්ත සිදු කෙරිණ. පළමු වසරේ සිට 11 වසර දක්වා සිසු දරු දැරියන් 250 දෙනකු පමණ ඉගෙනුම ලබන තෙල්බැද්ද වත්ත අංක 01 දෙමළ විද්‍යාලයට තිබුණේ පන්ති කාමර ගොඩනැඟිලි දෙකක් පමණි. ඉන් ප්‍රධාන ශාලාවේ කොටසක් විදුහල්පති කාර්යාලයට හා වේදිකාව සඳහාත් වෙන්ව තිබීම හේතුවෙන් ප්‍රමාණවත් ගොඩනැඟිලි පහසුකම් නොමැතිව පන්ති කිහිපයක දරු දැරියන් කාලයක් තිස්සේ තාවකාලිකව ඉදි කර ගත් ටකරං මඩුවල හා පාසල් මිදුලේ ගස් යට අධ්‍යාපන කටයුතු සිදු කර තිබිණ. ගුරු නිවාසය පවා පන්ති සඳහාත් සංගීත කාමරය හා විද්‍යාගාරය ලෙසත් භාවිත කිරීමත්, පරිගණක විද්‍යාගාර, ගෘහ විද්‍යාගාර, පුස්තකාල ආදී කිසිදු පහසුකමක් නොවීමත් හේතුවෙන් මෙම ගුරු සිසුහු ගැටලු රැසකට මුහුණ පා සිටියහ.

ඒ අනුව සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අඩි 80යි 20 පන්ති කාමර ගොඩනැඟිල්ලක් මෙම පාසලට ලබාදීමට එකම පවුලේ සොහොයුරියන් වන කැනඩාවේ පදිංචි කුමාරි චන්ද්‍රවංශ මහත්මිය හා මත්තේගොඩ, මදාරා උයන, අංක 102/71 යන ලිපිනයේ පදිංචි ඩී.එම්. තිලානි දිසානායක මහත්මිය ඉදිරිපත්ව සිටියහ. ඒ පිළිබඳව අදහස් දැක්වූ තිලානි දිසානායක මහත්මිය සඳහන් කළේ මේ සඳහා මූල්‍ය දායකත්වය ලබාදෙන කුමාරි චන්ද්‍රවංශ මහත්මියගේ සැමියා වූ ජගත් චන්ද්‍රවංශ මහතා මීට කලකට පෙර හදිසි හෘදයාබාධයකින් මිය යෑම හේතුවෙන් ඒ මහතාට පින් පතා තම පවුලේ අය එක්ව මෙවන් සමාජ සත්කාර්යයක් සිදු කරන බවයි. ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත නව ගොඩනැඟිල්ල සඳහා රුපියල් 8,357,254. 38ක මුදලක් වැය කෙරෙන බවට ඇස්තමේන්තු කර තිබේ.

හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT