2024 මහමැතිවරණයට තව ඇත්තේ දින දහයක් පමණි. ආණ්ඩු පක්ෂය විසින් මෙවර මහමැතිවරණයෙන් තමන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබාදෙන ලෙස ඉල්ලයි. විපක්ෂයේ සියලු බලවේග පමණක් නොව ඒවාට සල්ලි පොම්ප කරන ඇතැම් මාෆියා ව්‍යාපාරික කල්ලි කණ්ඩායම් එක්වී ආණ්ඩුවට තුනෙන් දෙකක් නොදිය යුත්තේ මන්දැයි විවිධ අවලාද නඟමින් සිටියි. හුදී ජනයා ලෙස අප වටහාගත යුත්තේ දෙපාර්ශ්වය දෙවිදිහකට අපට කරුණු කියන්නේ මන්ද යන්නය.
අනුර කුමාර දිසානායක මෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දී ගෙවුණු ඉතා කෙටි කාලයට දැවැන්ත විප්ලවයක් නොකළ බව සැබෑය. ශක්තිමත් පාර්ලිමේන්තුවක්, දක්ෂ ප්‍රමාණවත් කැබිනට් මණ්ඩලයක් නොමැතිව එහෙව් වෙනස්කම් කරන්නට බැරි බව ද, පැහැදිලිය. එහෙත් කෙටිකාලීනව ගත යුතු, ගත හැකි බොහෝ තීන්දු තීරණ ගත් බව නොරහසකි. බොහෝ දෙනෙකුට ඌයියා වී ඇත්තේ ද, ඒ නිසාමය.
අපට සිටියේ ‘ඊළඟ සති දෙක තවත් අමාරුයි’ කියමින් 2048 වන තෙක් ඉවසිය යුතු යැයි ද, ජනතාව පටි තද කරගත යුතු යැයි අවධාරණය කරමින් සිටි නායකයන්ය. තමන්ගේ කාර්යමණ්ඩල ප්‍රධානියා බවට පත් කරගත් ගමන් සගයාට පවා ගමනක් බිමනක් යන විට රථ පෙළපාළියක් තරමට පසු ගමන් රථ යොදවා තිබුණු නායකයන්ය. මේ රට අන්ත දූෂිත රටක් බවට පත්කරන්නට අඩ සියවසක් නොමඳ දායක්වයක් ලබාදුන් අයයි.
ජනමතය අවලංගුවීම
ජනමතය අවලංගුවී පලාගිය පසු, ඔහු අවලංගු වූ ජනමතය නියෝජනය කර තමන්ට දැවැන්ත ජනවරමක් ලැබී ඇතැයි සිතමින් පුරවැසියන්ගේ මානව හිමිකම් තුට්ටුවකට හෝ මායිම් නොකරමින්, රාජ්‍ය දේපළ විකිණීමට පිඹුරුපත් සකසමින්, මර්දන අණපනත් ගෙනෙමින්, දූෂිතයන් ආරක්ෂා කිරීම සාධාරණීකරණය කිරීමට කතා දෙසමින් සිටි කතන්දර පප්පන්ය. ජාතිවාදී කෝලාහල ඇති කර රට ගිනි තියන්නට ද, දායක වූවන්ය. ජනතාව විසින් ඉකුත් ජනාධිපතිවරණයෙන් වෙනස් කරනු ලැබුවේ මෙම දූෂිත පාලන තන්ත්‍රයයි. අවලංගු කාසි බවට පත්වූ මෙම දූෂිත පාලන තන්ත්‍රයේ නෂ්ටාවශේෂ ජනතා බදු මුදලින් තවදුරටත් නඩත්තු කළ යුත්තේ මන්ද?
මේ රට පාලනය කොට අවලංගු කාසි බවට පත්වූ දූෂිත ප්‍රභූ මාෆියා කණ්ඩායම තවදුරටත් ජනතාවගේ බදු මුදලින් නඩත්තු කළ යුතු නොවේ. ඔවුන්ට තවදුරටත් අති සුඛෝපභෝගී ජීවිත ගෙවන්නට ජනතාව තම දහඩිය මහන්සියෙන් වන්දි ගෙවිය යුතු නොවේ. මෙම ක්‍රියාදාමයට නැවතීමේ තිත තැබීම අනුර කුමාර දිසානායකගේ මැතිවරණ පොරොන්දුවක් විය. ජනතාව විසින් ඔහු මේ රටේ ‘විධායක ජනාධිපති’ බවට ඔසවා තැබීම යනු එම ක්‍රියාවට ජනතාව ලබාදුන් අනුමැතියයි. දැන් එය ක්‍රියාවට නංවන්නට යනවිට දැවැන්ත විරෝධයක් මතුවන්නේ ජනතාවගෙන් නොව මෙම දූෂිත ප්‍රභූ මාෆියා කණ්ඩායමෙන් වක්‍ර ලෙස නඩත්තු වූ හෝ අතිරේක වරප්‍රසාද ලැබූ පිරිස් වෙතිනි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැනි දූෂිතයන් බලය අත්පත් කරගැනීමටත්, නඩත්තු කර ගැනීමටත් භාවිත කළ අපරාධ සම්බන්ධයෙන් නිසි විමර්ශන ආරම්භ කරන විට ගම්-මාපිලුන් වැනි විෂඝෝර සර්පයන් කලඑළි බැස එම විමර්ශන වෙනතකට යොමු කිරීමට උත්සාහ දරයි. සහල් ඇතුළු මේ රටේ ගොවියන්ටවත්, පාරිභෝගිකයන්ටවත් සාධාරණයක් අත් නොවී අතරමැද කුඩා වෙළෙඳ මාෆියා කණ්ඩායමක් විසින් මෙහෙයවන අයුතු අක්‍රමිකතාව නැවැත්වීමට සියලු ගබඩා ඩිජිටල්කරණය කර තොග තොරතුරු දත්ත ගබඩාවක් ක්‍රියාත්මක කිරීමට ගන්නා විට එය ව්‍යාපාරික ප්‍රජාවට කරනා අකටයුත්තක් ලෙස හුවා දක්වන ප්‍රචාරණ ව්‍යාපෘති ආරම්භවෙයි. සුඛෝපභෝගී වාහන රටේ තැන තැන දමා යමින් තිබියදී, ඒ පසුපස නිසි විමර්ශන සිදුවෙද්දී ඇතැම් ඒවා ජාත්‍යන්තර සොරකම් සමඟ බැඳී පවතින බව අනාවරණය වන තත්ත්වයක් තුළ පවා සියල්ල දේශපාලන පළිගැනීම් ලෙස හුවාදක්වන්නට උත්සාහ දරනු පෙනෙයි. ආර්ථිකය කළමනාකරණය කරනු පිණිස උපක්‍රමික මූල්‍යමය ක්‍රියාමාර්ග ගැනීමේදී එය ‘මුදල් අච්චු ගැසීමක්’ ලෙස තහවුරු කරන්නට උනන්දුවනු පෙනෙයි. ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරු අනාවරණය වනවිට ඒ පිළිබඳ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් එයින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කිරීම වෙනුවට එයින් රටේ සංචාරක කර්මාන්තයට එල්ලවිය හැකි අවදානම සලකා, නිසි ක්‍රියාමාර්ග ගැනීම අගය කිරීම වෙනුවට ‘සංචාරක තහනමක් පනවා’ ඇති බවට ව්‍යාජ පුවත් මවනු දැකිය හැකිවිය.
ව්‍යාජ පුවත් මවන නාළිකා
අවසානයේ මෙරට අමෙරිකානු තානාපතිනියට පවා තම රට විසින් මෙරට සම්බන්ධයෙන් ‘සංචාරක තහනමක් පනවා නැති බවට’ නිවේදන නිකුත් කරන්නට සිදුවිය. දුස් තොරතුරුවලට හා ව්‍යාජ පුවත් මැවීම්වලට ජනප්‍රිය පෞද්ගලික නාළිකාවල සැලකිය යුතු කාලයක් ලබාදෙමින්, පුළුල් ප්‍රචාරයක් ලබාදීම පිටුපස ඇත්තේද,පෙර කී දූෂිත මාෆියා ප්‍රභූ තන්ත්‍රයමය. එහි අනුග්‍රාහක සේවා සබඳතාවන්ය. පොදු දේපළක් වූ මහජන සංඛ්‍යාත අවභාවිත නොකරන්නැයි ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කළ පසු, එකී ඉල්ලීම ද තර්ජනයක් ලෙස හුවාදක්වමින් යළි යළිත් කරමින් සිටින්නේ එයමය. තවදුරටත් වැරදි අර්ථකථනයන් ලබාදීමය. මහජන සංඛ්‍යාත අවභාවිත කිරීමමය.
ඉල්ලීමක් කළ විට මෙතරම් ඌයියා වෙන්නන්, තවදුරටත් ව්‍යාජ පුවත් මවන්නත්, මොවුන් දිගින් දිගටම ක්‍රියා කරන්නේ මේ රටේ පොදු දේපළ ගැන හාංකවිසියක්වත් නොදන්නා ගාණටය.
අර්බුදයට වගකිව යුත්තේ
මේ අනුව මහජන අභිලාෂයන් ක්‍රියාවට නංවනවිට මහජනයාට එරෙහිව දූෂිත වළල්ලේ පංගුකාරයන් ලෙස මෙම මාධ්‍ය මාෆියාව ද, ක්‍රියාත්මක වන බව අප තරයේ සිහියේ තබා ගත යුතුය. ඉකුත් පාලන කාලයේ වඳ බෙහෙත්, වඳ කොත්තු, දොස්තර සාෆි නාටකය, කැලණියේ නයි මතුවීම, කොවිඩ් වෙනුවෙන් පැණිබීම හා දුම් හට්ටි වෙෙළඳාම ප්‍රවර්ධනය කළේ ද, මොවුන්මය. එබැවින් ඉතා සුපරික්ෂාකාරීව කල්පනා කර බැලුවහොත්, මෙම අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නොවේ. ඇතැම් රජයේ ආයතනවල ප්‍රධානීන්, රජයේ නිලධාරීන්, ඇතැම් සේවක සේවිකාවන් පමණක් නොව සේවා ප්‍රවර්ධකයන්, අතරමැදියන්, මාධ්‍ය නාළිකා යන සියල්ල මෙම ජාලය තුළ සෘජුව හා වක්‍රව ගැට ගැසී බව අවධාරණය කළ යුතුය. නිදහසින් පසු වසර හැත්තෑ ගණනක උගත් පාඩම් අභ්‍යාස කර ඇති මෙරට ජනයා තමන්ගේම සහෝදරයකු ජනාධිපති බවට පත් කිරීමෙන් පමණක් තමන් බලාපොරොත්තු වූ වෙනස ඉටුකිරීමට නොහැකි බව දනී. ඒ සඳහා මෙරට මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට නීති පද්ධතිය අදට ගැළපෙන පරිදි සංශෝධනය විය යුතුමය. නීති, අණපනත් යාවත්කාලීන වීමට නම්, අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අත්‍යවශ්‍යය.
රජයේ රෝහල් තම බදු මුදලින් නඩත්තු කරන පුරවැසියකු තමාගේ ලෙඩකට දුකකට බෙහෙත් ටිකක් ලබාගැනීමට රජයේ රෝහලකට ගිය විට නියමිත ඉන්ජෙක්ෂන් වෙනුවට වතුර එන්නත් කරන සෞඛ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරීන් සිටින රටක, ඒ සඳහා උපදෙස් දුන්නු ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේදී පවා එය ජයග්‍රහණය කිරීමට නොහැකි වූයේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් බහුතරයක් නොතිබීම නිසාය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මාලිමා අපේක්ෂකයන් හැර ‘මන්ත්‍රීවරුන් ලෙස“ තමන්ට හිමි වරප්‍රසාද අඩුකරන අණපනත් කිසිවකට පාර්ලිමේන්තු එන කිසිවකු අත ඉස්සීමට ඉඩක් නැති බව වටහා ගැනීමට විශේෂ දැනුමක් අවශ්‍ය වන්නේ නැත. දැන් කාරණාව පැහැදිලිය. වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වන්නේ ජනතා අභිලාෂයන් ඉටු කිරීමටය. විපක්ෂයේ මහජන නියෝජිතයින් යයි කියා ගන්නා අයට ද, මාධ්‍ය නාළිකා ඇතුළු දූෂිත වළල්ලේ පංගුකාරයන්ට ද, එය වැළැක්විය යුතු වන්නේ එයින් තට්ටු වන්නේ තමාගේ බඩට පමණක් නොව ඇතැම්විට හිරේ විලංගුවේ වැටෙන්නට ද, ඉඩ ඇති නිසාය. තීන්දුව ජනතාව සතුය.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර