Home » ලොහාන් සාමාන්‍ය වාට්ටුවකට

ලොහාන් සාමාන්‍ය වාට්ටුවකට

by chanaka
November 4, 2024 10:33 am 0 comment

හදිසියේ ඇති වූ සංකූලතාවක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර තිබේ.

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සදහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ලොහාන් රත්වත්තේ මහතා ඇතුළත් කෙරුණි.

කෙසේ වෙතත්, හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් පසු හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක් වෙත ඊයේ (03) යොමු කර ඇත.

නීතිවීරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

මේ අතර, හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ලේකම්වරයෙකු විසින් තමන් වෙත භාරදුන් බව කියන ලියාපදිංචි නොකරන ලද ජීප් රථයක් ලඟ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කපු මහතා මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

තෙල්දෙණිය – දිගන ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක් අසළ දමාගොස් තිබූ තවත් සුඛෝපභෝගී ජිප් රථයක් තෙල්දෙණිය පොලිසිය පසුගිය සිකුරාදා (01) සොයාගනු ලැබීය.

මෙම රථය පසුගියදා වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ, පෞද්ගලික ලේකම් සංජීව බස්නායක නැමැත්තා මහනුවර ගාල්තැන්න ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන මෙම කපු මහතාට ලබා දී ඇති බවට පසුව අනාවරණය වි තිබුණි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විසින් මීට සති කිහිපයකට පමණ පෙර තමන් වෙත ලබාදුන් බව ගාල්තැන්නේ කපුමහතා පොලිසියට පවසා තිබුණද වසරකට වැඩි කාලයක සිට අදාළ කපු මහතා ලග මෙම ජීප් රථය තිබී ඇති බවට පොලිසිය සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එමෙන්ම, ඔහු සතුව ඩිෆෙන්ඩර් ජීප් රථ ඇතුළු වාහන ගණනාවකින් සමන්විත වාහන අංගනයක් ද තිබෙන බවත් එහි එකලස් කර සකස් කරන ලද වාහන කිහිපයක් ඇති බවට පොලිස් විමර්ශනවලින් වැඩිදුරටත් අනාවරණය වු බව පැවසේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT