පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ලබාගෙන එම පින්තූර සමාජ මාධ්‍යයට මුදාහරින බව පවසමින් ඇය බිය ගන්වා මුදල් ලබාගත් අපූරු පෙම්වතෙකු රත්නපුර වේවැල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙයට මාස එකොළහකට පමණ පෙර රත්නපුර නගරයේ දී අහම්බෙන් මුණගැසුණු නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ක තරුණයකු හා සම්බන්ධයක් ඇති කර ගත් රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක තරුණියක් මෙම සිද්ධියට මුහුණ දී ඇතැයි පොලිසිය පවසයි.
තමා ආදරවන්තයාගේ ඉල්ලීම පරිදි තමාගේ නිරුවත් පින්තූර තමා විසින්ම අරගෙන තම ආදරවන්තයාගේ ජංගම දුරකතනයට යැවූ බව ඇය පිළිගත් බවත් පෙම්වතා තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වූ නිසා එලෙස සිදු කළ බව ඇය පොලිසියට ප්‍රකාශ කර තිබේ.
නුවරඑළියේ පෙම්වතා රත්නපුරට පැමිණ කිහිප වතාවක් පෙම්වතිය හමුවී ඇතැයි ද පොලිසිය පවසයි. එහිදී තරුණයා තරුණියට යෝජනා කර ඇත්තේ විවාහ වූ පසු නිවසක් තනා ගැනීමට අවශ්‍ය බවත් එය නුවරඑළිය ප්‍රදේශයේ ඉදි කරන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂයක් අවශ්‍ය බවත්ය.
තරුණිය විසින් රුපියල් ලක්ෂයක් සිය කැමැත්තෙන් ලබදී ඇති අතර, ඊට අමතරව ඇය ගෙල බැඳි පවුම් එකහමාරක රත්රන් චේන් පොටද පෙම්වතාට ලබාදී තිබේ.
එම සිදුවීමෙන් ටික දිනකට පසුව නැවතත් එම තරුණියගෙන් සැකකරු මුදල් ඉල්ලා තිබෙන අතර, තරුණිය මුදල් නොමැති බව පැවසීමෙන් පසු ඇගේ නිරුවත් පින්තූර සමාජ මාධ්‍යයට මුදාහරින බවට තර්ජනය කර ඇතැයි ඇය පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙම තරුණියගේ පියා මියගොස් ඇති අතර, මව විදේශයක රැකියාවක් කරමින් සිටියදී පෙම් සබඳතාවය ඇති කරගෙන තිබේ.
පෙම්වතා තමාගෙන් මුදල් ඉල්ලා බලපෑම් කරන බව තරුණිය ඇයගේ විදේශගත මවට දැනුම් දීමෙන් පසු මව රැකියාව අත්හැර ලංකාවට පැමිණ තිබේ.
සැකකාර තරුණයා මෙම මවගේ දුරකතන අංකයටද ඇමතුම් ලබාගෙන මුදල් ඉල්ලා ඇති අතර, එම මව පවසා ඇත්තේ විවාහ වීමෙන් පසු මුදල් ලබා දීමට හැකි බවයි. සැකකාර තරුණයා එය ප්‍රතික්ෂේප කර තරුණියගේ නිරුවත් පින්තූර කිහිපයක් මවට එවා තර්ජනය කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මව සහ දියණිය එම පින්තූරද රැගෙන වේවැල්වත්ත පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය විසින් ඉහත කී තරුණයාට මුදල් දෙන බව පවසා ඉතා සූක්ෂ්ම ලෙස රත්නපුරයට ගෙන්වාගෙන පෙරේදා (31) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තවත් තරුණියන් ද මෙලෙස රවටා ඇති දැයි වේවැල්වත්ත පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, සැකකාර තරුණයා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.