ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් හා රිටොක්සිමැප් නමැති ප්‍රතිදේහ එන්නත් ආනයනය කර මෙරට රජයේ රෝහල්වලට බෙදාහැර රජයට කෝටි ගාණක වංචාවක් හා රෝගීන්ගේ ජීවිත අවදානමට ලක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ලබන මස 03 වැනිදා දක්වා කල් දැමීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් ලොයිඩ් ග්‍රේ මහතා ඊයේ (01) නියෝග කළේය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊයේ දින නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩු කටයුතු මෙහෙයවීමට අද දින අපහසු බැවින් එය ලබන මස දක්වා දීර්ඝ කරන ලෙසය.
එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය මෙලෙස නඩුව කල් දැමීමට නියෝග කළේය.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් ණය මඟින් ස්නායු රෝගීන්ට හා පිළිකා රෝගීන්ට බාල බෙහෙත් ගෙන්වීමේ සිද්ධියට සම්බන්ධ මාස අටක කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනකු පසුගිය සැප්තැම්බර් 11 වැනි දා ඇප මත මුදාහැර තිබුණි. අනෙක් සැකකරුවෝ නවදෙනා තවමත් රිමාන්ඩ් භාරයේ සිටිති.