Home » ඉන්දියාවෙන් ආගමික ස්ථානවලට සූර්යබල පද්ධති

ඉන්දියාවෙන් ආගමික ස්ථානවලට සූර්යබල පද්ධති

by chanaka
November 2, 2024 11:03 am 0 comment

ආගමික ස්ථාන සඳහා වහල මත සවි කරන සූර්ය බල පද්ධති භාර දීමක් පසුගියදා(25) සිදු කෙරිණ. ඒ අනුව බස්නාහිර පළාතේ හෝකන්දර විහාරය, ශ්‍රී ආන්ජනියර් කෝවිල, ශාන්ත අන්තෝනි දේවස්ථානය සහ මුට්වාල් ජුම්මා මුස්ලිම් දේවස්ථානය වෙත සූර්යබල පද්ධතීන් බාර දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරිහු සහභාගී වූහ.

මෙම වැඩසහටහන ශ්‍රී ලංකාව පුරා ආගමික ස්ථාන 5000ක් සඳහා වහල මත සවිකරන සූර්යබල පද්ධතීන් ලබා දීම අරමුණු කරගත් ඇමරිකානු ‌ඩොලර් මිලියන 17ක ඉන්දීය සහයෝගය යටතේ ක්‍රියාවට නැංවේ. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ මෙම ආගමික ආයතනවල බලශක්ති පිරිවැය අඩු කරමින් පිරිසිදු බලශක්තිය වෙත මාරු වීමේ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයට සහය වීමයි.

සූර්ය බල පද්ධතීන් පන් දහස ශ්‍රී ලංකාවේ පළාත් නවයෙහි දිස්ත්‍රික්ක 25 පුරා ම බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන ආගම් නියෝජනය කරන ප්‍රධාන ආගමික ස්ථාන ආවරණය කරමින් සවි කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සංවර්ධන සහයෝගිතා හවුල්කාරිත්වය අවධාරණය කරන මනුෂ්‍ය කේන්ද්‍රීය සහ එක් ආගමකට සීමා නොවූ වටිනාකම් අවධාරණය කරමින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ද්විපාර්ශ්වික සහයෝගීතාවය සඳහා ඉන්දියාවේ දැඩි කැපවීම පිළිඹිබු කරයි.

ඉන්දීය ප්‍රවීණත්වය සමඟින් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයේ ජනතා කේන්ද්‍රීය බලශක්තිය වෙත මාරු වීමේ ප්‍රතිපත්තියට සහය වෙමින් වාර්ෂිකව දළ වශයෙන් විදුලි ඒකක මිලියන 37ක් ජනනය කරමින් මෙගා වොට් 25ක් එක් කරනු ඇත. සූර්යබල පද්ධතීන් ලබා දීම සහ සවි කිරීමට අමතරව වසර පහක් පුරා නඩත්තු කාලසීමාවක් ද ව්‍යාපෘතියට ඇතුළත් වන අතර එහි අරමණ වන්නේ ව්‍යාපෘතියේ දිගු කාලීන කාර්යක්ෂමතාවය සහ තිරසාරභාවය සහතික කිරීමයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතාවයන් මත පදනම් වූ ද්විපාර්ශ්වික ව්‍යාපෘතීන් ඉහළ නැංවීම සඳහා ඉන්දියාවේ ශක්තිමත් කැපවීම අවධාරණය කරන ලදී. දෙරට අතර සමීප සහයෝගීතාවය ප්‍රවර්ධනය කරන මෙම මුලපිරීම එම ප්‍රයත්නයේ සැලකිය යුතු කොටසකි.

මෙම ව්‍යාපෘතිය විශ්වාසදායි, පිරිවැය ඵලදායි සහ තිරසාර බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ පොදු අරමුණ සවිබල ගන්වමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති සහයෝගිතාවයේ නව පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කරයි. ඇමරිකානු ‌ඩොලර් මිලියන 10ක ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකාව පුරා මෙම ක්ෂේත්‍රයේ බෞද්ධ විහාරස්ථාන සහ පිරිවෙන් 9000ක් පමණ සූර්ය බලශක්තියෙන් බලගැන්වීම, යාපනයේ දූපත් තුනක දෙමුහුන් බලශක්ති ව්‍යාපෘතීන්, ද්‍රවීකෘත ස්වභාවික වායු සැපයුම සහ යටිතල පහසුකම් සංවර්ධනය සහ සම්පූර් සූර්ය විදුලි බලාගාරය වැනි ව්‍යාපෘතීන් ද මේ වන විට ක්‍රියත්මක වෙමින් පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT