Home » තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ ගොඩනැඟිලි ස්ථාන 3කින් නාය ගිහින්

තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ ගොඩනැඟිලි ස්ථාන 3කින් නාය ගිහින්

දෙවැනිවරටත් ඇරඹි නායට තවමත් විසඳුම් නෑ

by mahesh
November 1, 2024 1:00 am 0 comment

තෙලිජ්ජවිල සමූහ වජිර පූජිත ගුණවර්ධන

තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලය පළාත් සභා පාසල් අතරින් දකුණු පළාතේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල වේ. මෙම පාසල වැලිගම – අකුරැස්ස මහා මාර්ගය ආසන්නයේ දිවුරුම් පිට්ටනිය හෙවත් වෙහෙරගොඩැල්ල වත්ත නමින් හැඳින්වෙන කඳුගැටයක පිහිටා ඇත. මෙම පාසලේ ගොඩනැඟිලිවලට ඉතා ආසන්න ස්ථාන තුනකින් දෙවැනිවරටත් නාය යෑම් ආරම්භ වී ඇති අතර, තවදුරටත් වැසි තත්ත්වය පැවතියහොත් භයානක තත්ත්වයක් උද්ගත විය හැකි බව සැමගේ අදහසයි. එබැවින් සිසුන් හයසිය පනහක් පමණ අධ්‍යාපනයේ යෙදෙන අවදානම් සහිත ගොඩනැඟිලි පිළිබඳව දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ විශේෂ අවධානය යොමු විය යුතු බව ගුරු දෙගුරු සැමගේ අදහසයි.

2023 ඔක්තෝබර් මාසයේදී මෙම නාය යෑම් ආරම්භ වී ඇති අතර, එම අවස්ථාවේදී මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට ඊට අදාළව 2023/10/05 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අමතා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් විද්‍යාල භූමිය පරීක්ෂා කිරීමටත්, එම භූමිය මෙම තත්ත්වයෙන් මඟහරවාගෙන පාසල ආරක්ෂිතව පවත්වාගෙන යෑමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසත් දැනුම් දී ඇත. එම කරුණට අදාළව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා 2023/10/9 දාතමින් දිස්ත්‍රික් ඉංජිනේරු ගොඩනැඟිලි (මාතර) අමතා, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් පරීක්ෂා කර අදාළ නිර්දේශයන් ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය (NBRO) මඟින් 2023 දෙසැම්බර් මස 13 වැනි දින විද්‍යාලයීය භූමිය පරීක්ෂා කිරීම සිදු කර ඇත. එම පරීක්ෂණවලින් පසුව ඔවුන් සකස් කරන ලද වාර්තාවට අනුව එම නාය යෑමට නිශ්චිත හේතු ලෙස දක්වා ඇත්තේ අවිධිමත් පෘෂ්ඨීය ජලවහන රටාව, අවිධිමත් ඉඩම් පරිහරණ රටාව, ආධාරක පැති බැමි ඉදිකිරීමේ පවතින තාක්ෂණික දෝෂයන් වේ. මේ පිළිබඳව දීර්ඝව කරුණු දක්වා ඇති එම වාර්තාවේ කෙටිකාලීනව ගත යුතු පියවර ද ස්ථිර විසඳුම් ද දක්වා ඇත.

මෙවරද නාය ගොස් ඇති ස්ථාන 2023 වර්ෂයේදී පළමු නාය යාම සිදු වූ අවස්ථාවෙන් පසු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය (NBRO) පරීක්ෂා කර ඉදිරිපත් කර තිබූ නිර්දේශ මෙසේය.

විදු­හ­ල්පති සිසිර ධීර­සිංහ

විදු­හ­ල්පති සිසිර ධීර­සිංහ

1. අකුරැස්ස වැලිගම මාර්ගයට ආසන්නයේ ආධාරක පැති බැම්ම කඩා ඉවත් කර (එහි සඳහන් උපදෙස් අනුගමනය කරමින්) කළු ගල් සිමෙන්ති ආධාරක බැම්මක් ඉදි කිරීම.

2. පාසල් භූමිය ආශ්‍රිතව මතුපිට ජලවහනය දීර්ඝකාලීන වන සේ ක්‍රමවත් කිරීම සහ වැසි ජලය ක්‍රමානුකූලව බැස යෑමට කානු පද්ධතියක් ඉදිකිරීම සහ ඒවා නිසි පරිදි නඩත්තු කිරීම.

ආදී වශයෙන් දීර්ඝ උපදෙස් හා නිර්දේශ සහිත වාර්තාවක් එම පරීක්ෂා කිරීමේ නියැළුණු භූ විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ බව දැනගන්නට ලැබුණි. නමුත් ඒ කිසිවක් මෙතෙක් ඉටු වී නොමැත. එසේම මේ වන විට එම ස්ථානවලින්ම මෙම වැසි සමයේ ද නැවතත් නාය යෑම සිදුව ඇත. මේ හේතුවෙන් විදුහල්පතිවරයා ප්‍රමුඛ පිරිස බලධාරීන්ට පෙන්වා දෙන්නේ කඩිනමින් මෙම ගැටලුවට විසඳුම් ලබා දී විය හැකි විශාල අනතුරක් වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT