අඩි හැටක් ගැඹුරැති ගල් වළකට මෝටර් රථයක් පෙරළී යෑමෙන් ඊයේ (31) අලුයම සිව් දරු පියකු එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය පැවසීය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආණමඩුව තෝනිගල ඔරුගල ප්රදේශයේ පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ චමින්ද උපුල් කුමාර නමැති 46 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ (31) අලුයම මෙම තැනැත්තා ඔහුගේ මෝටර් රථයෙන් ගල් වළකට ගමන් කරමින් සිටියදී මෝටර් රථය ලිස්සා ගොස් විශාල කළුගල් වළට ඇද වැටී අදාළ තැනැත්තා මෝටර් රථය තුළම මරණයට පත්ව ඇති බවත්, මෝටර් රථයට ද දරුණු හානි සිදුව ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සඳහන් කළේය. ඔහුගේ බිරිය හා පුතා පවසන්නේ මොහු අධික ලෙස මත්පැන් පානය කරන අයකු බැවින් සිද්ධිය වන අවස්ථාවේදී ද මත්පැන් පානය කර සිට ඇති බවයි. ඔවුන් පවසන්නේ මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ තැනැත්තාට අයත් වෑන් රථය මඩේ එරී තිබියදී එය පුතා පැමිණ ගොඩට අරන් දී යෑමෙන් පසු නැවතත් එරී ඇති බවත්, එය ගොඩට ගැනීමට කළුගල් වළ තුළ තිබූ විශාල කේබලයක් රැගෙන ඒමට එම ස්ථානයට ගමන් කරන බව පවසා පිටව ගිය බවත්ය. කෙසේ නමුත් එසේ අලුයම පිටව ගිය පුද්ගලයා සම්බන්ධයෙන් බොහෝ වේලාවක් ගත වන තුරු තොරතුරක් නොලද හෙයින් කළ සොයා බැලීමේදී ඔරු ගල ආසන්නයේ පිහිටි අඩි 60කට වැඩි ගැඹුරකින් යුත් විශාල කළුගල් වළ තුළ මෝටර් රථය ද සමඟ ඔහු වැටී මරණයට පත්ව සිටි බව දැනගත් බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ සිවු දරු පියා මේ වන විට ගොවිතැන් කටයුතුවල නිරත වෙමින් සිටින වගාකරුවකු බවත්, කලින් කළුගල් වළවල් පවත්වාගෙන යමින් කළුගල් කැඩීමේ නිරත වූ අයකු බවත් පොලිසිය පැවසීය. මෙම ගල් වළට ලොරි හා ටිපර් රථ පමණක් ගමන් කිරීම සිදු වන නමුත් මෙවැනි මෝටර් රථවලට කිසිදු ලෙසකින් පැමිණිය නොහැකි බවද පවසන ආණමඩුව පොලිසිය, අදාළ අනතුර සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.