Sunday, April 20, 2025
Home » හිටපු ජනපති ඉතුරු කළ ඩොලර් සංචිතයෙන් ආණ්ඩුව පිනුම් ගහනවා

හිටපු ජනපති ඉතුරු කළ ඩොලර් සංචිතයෙන් ආණ්ඩුව පිනුම් ගහනවා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක, මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි

by mahesh
November 1, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

වත්මන් ආණ්ඩුව පිනුම් ගසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ඉතිරි කළ ඩොලර් සංචිතයෙන් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක, මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ කළුතරදී පැවති ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මෙවැනි තත්ත්වයක් තුළ ඩොලර් සංචිතය ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතුයි. ඒ අනුව නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම සහ විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම අවශ්‍යයි. වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වෙලා මාසයක් වැනි කෙටි කාලයකදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූවා. ජනාධිපතිවරණයේදී ලොකු රැල්ලක් ආවා නිසා මේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ද රැල්ලකටම ගසාගෙන යයි කියා බොහෝදෙනෙක් විශ්වාස කළා. නමුත් බලයට පත්වෙලා ගත වූ මාසයේ ජනතාවට මුහුණ දෙන්න සිදුවූයේ කුමක්ද ? ගම්වල ජනතාව අද මුහුණදෙන තත්ත්වය කුමක්ද? මම නියෝජනය කරන ආසනයේ ගම්වල ජනතාව විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනවා. කුඩා වැස්සකට වුණත් ගංවතුර තත්ත්වයක් ඇති වෙනවා. ගමට යන්න හරි පාරක් නෑ. මෙවැනි ප්‍රශ්න රාශියක් ජනතාව ඉදිරියේ තිබෙනවා. ජනාධිපතිවරයා බලයට පත්වෙන්න පෙර හොරු අල්ලනවා කිව්වා. වංචාකාරයන් අල්ලනවා කිව්වා. හොරකම් කළ සල්ලි ගේනවා කිව්වා.

මේ අය හොරකම් කළේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලින්. මේ ගමේ පාරවල් හදන්නත් ව්‍යාපෘතිවලට සල්ලි අනුමත වුණා. නමුත් වැඩ කළේ නෑ. මේවා ගැන තමයි කතා කරන්න ඕනෙ. එසේ නොමැතිව මීට අවුරුදු 10කට 15කට කලින් සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් කතා කර වැඩක් නෑ. මේ ජනතාව අපේක්ෂා කරන්නේ ගමට සංවර්ධනය.

ජනතාවට සහන දෙන්න ආණ්ඩුවක් බලයට ගෙනාවා නම් ජනතාවට ආණ්ඩුව දුන් සහන ලැබී තිබෙනවාද? මේ ගැන මේ මාසයේ බැලුවේ නෑ. මේ වගේ ප්‍රතිඵලයක් එන්න එකම හේතුව තමයි ජනතාව රවට්ටන්න කළා ඇස් බැන්දුම්. ජනතාව රැවටුණා. රැවටුණු ජනතාව ගත වූ මාසය ඇතුළත නැවත කල්පනා කරන්න පටන් ගත්තා මේ මොකක්ද අපට වුණේ, අපි හිතපු දේ නොවෙයි දැන් වෙන්නේ, නැවතත් වෙන්නේ සංදර්ශන ටිකක් තමයි, එසේ නම් අපි ගමේ සුදුසු කෙනෙක් පත්කළ යුතුයි වගේ දේ හිතුවා. ඒක තමයි ඇල්පිටිය ප්‍රතිඵලවලින් අපට සිතන්න පුළුවන් කාරණය. රුපියල් උපයනවාට වඩා අපි ඩොලර් උපයා ගත යුතු වෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතිරි කළ ඩොලර් සංචිතවලින් දැන් ආණ්ඩුව පිනුම් ගහනවා. ඒක තමයි ඇත්ත.

එසේ නම් දැන් මේ තිබෙන ඩොලර් ටිකට මොකද වෙන්නේ. විදෙස් සංචාරකයන් දැන් ලංකාවට එන්න පටන් ගන්නා කාලය. අරුගම්බේ සිද්ධියක් ඇති වුණා. ඒ අනුව විදේශ රටවල් කිහිපයක් සංචාරකයන්ට නිවේදන නිකුත් කරන්න පටන් ගත්තා. ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන නිසා මෙරට සංචාරය කිරීම සම්බන්ධයෙන් නිවේදන නිකුත් කළා.

එවැනි නිවේදන නිකුත් කරයිද අපේ රටේ නිවැරැදිව හරියාකාර ආරක්ෂාවක් දෙන බවට සහතිකයක් තිබුණා නම්. එවැනි ගැටලුවක් තිබු නිසා මෙවැනි නිවේදන නිකුත් කළා. එසේ නම් අපි මේ ගැන කල්පනා කළ යුතු වෙනවා. ශ්‍රී ලාංකිකයන් ඔළුව උස්සනවාට ජාත්‍යන්තරය කවදාවත් කැමැති නෑ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT