කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ජනතාවගේ ගැටලු විසඳීමට උපරිමයෙන් මැදිහත් වන සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක, මාධ්‍යවේදී නයනක රන්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“රට තුළ මේ වනවිට අර්බුද රැසක් නිර්මාණය වී තිබෙනවා. වඩා හොඳ, යහපත් රටක් බිහිවනු දැකීම අප සියලු දෙනාගේම අපේක්ෂාවක්. වඩා යහපත් රටක් නිර්මාණය කිරීමට හැකි අයුරින් දායක වීම වෙනුවෙන් යම් උත්සාහයක් දැරීමට මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළා. ඒ වෙනුවෙන් මම තෝරාගත්තේ දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් වන සමගි ජන බලවේගය. සමස්තයක් ලෙස ගත් විට සියලු ජනතාව එදිනෙදා මුහුණ දෙන ගැටලු රැසක් තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට පොදු වූ ප්‍රශ්න ගණනාවක් ද තිබෙනවා. ඒවාට හැකි අයුරින් විසඳුම් දීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයට පොදු වූ ප්‍රශ්න තිබෙනවා. ගංවතුර තත්ත්වය එවැනි ප්‍රශ්නයක්. ඒ වෙනුවෙන් ස්ථිරසාර විසඳුමක් දිය යුතුයි. මේ වෙනුවෙන් ස්ථිර විසඳුමක් දීමට කිසිදු දේශපාලන පක්ෂයක් සමත්වී නෑ. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වී මේ සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. අනෙකුත් දිස්ත්‍රික්කවලට වගේම අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී ප්‍රශ්න කළුතර දිස්ත්‍රික්කයේත් තිබෙනවා. එම ගැටලු විසඳීමට අපේ කණ්ඩායම අපේක්ෂා කරනවා. දිගු කාලයක් මම මාධ්‍ය වෘත්තියෙහි නිරත වුණා. මාධ්‍යවේදියකු ලෙස ජනතාවගේ සිතුම් පැතුම් මෙන්ම ජනතා අපේක්ෂාවන් මනාව හඳුනා ගැනීමේ හැකියාව මා සතුයි.
ඒ නිසා මාධ්‍යවේදියකු ලෙස මා සතු කුසලතා ද ජනතා සේවයට යොදා ගැනීමට අපේක්ෂා කරනවා.”