දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වෙමින් මේ මැතිවරණය දක්වා සිටි එකම මන්ත්‍රී හාමුදුරුවෝ අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ පමණි. එහෙත් මේ මන්ත්‍රී හාමුදුරුවරුන්ගේ කතාව ඉතිහාසයේ ඉතා ඈතකට දිවයන්නකි.
ඈත අතීතයේදී සිවුරු දරාගත් කිසිවෙකු දේශපාලනයට පැමිණ නැත. එසේ මැතිවරණයකට ඉදිරිපත් වීමට අවශ්‍යනම් ඉදිරිපත්වූයේ උපැවිදි වීමෙන් පසුවය. එදා මතුගම ආසනයට සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා සමඟ තවත් හතර දෙනෙකු රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා ඉදිරිපත් විය. ඒ හතර දෙනා අතරින් එක් අයෙක් වූවේ උපැවිදි වූ ශ්‍රී සුමංගල සූරියගොඩ නමැත්තෙකි. එවැනි අය සිවුරු හැරදා මැතිවරණයට ඉදිරිපත් වුවද එදා ජනතාව එවැනි අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කළහ.
භික්ෂූන්වහන්සේලා වෙනුවෙන්ම බිහිවී දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වී ඒ මගින් පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්ව මන්ත්‍රී හාමුදුරුවරුන් කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවට පිවිසියේ 2004 පාර්ලිමේන්තු මහමැතිවරණයෙනි.
පළමුවෙන්ම භික්ෂූන්වහන්සේ නමක් මැතිවරණයකට ඉදිරිපත්ව ඇත්තේ 1946 පැවැති කොළඹ නගර සභා මැතිවරණයටය. ඒ කොටහේනේ දීපදුත්තාරාමයේ විහාරාධිපති ධුරය දැරූ මාදම්පිටියේ ජිනානාන්ද ස්වාමීන් වහන්සේයි. ශ්‍රී ලංකා දේශපලන ඉතිහාසයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් මැතිවරණයකට ඉදිරිපත්වූ පළමු අවස්ථාව එයවේ.
ඉංග්‍රීසි පාලන සමයේදී සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගූ පානදුරාවාදය කළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් වැඩවාසය කළ විහාරස්ථානය ලෙස කොටහේනේ දීපදුත්තාරාමය ද ඉතිහාසයට එක්වූ විහාරස්ථානයකි.
භික්ෂූන්වහන්සේ නමක් දේශපාලනයට පිවිසීම පිළිබඳ එදා බෞද්ධ ජනතාවගේ ලොකු විරෝධයක් පැවැති අතර එනිසාම උන්වහන්සේ එම තරගයෙන් පරාජයට පත්වූහ. එම පරාජයත් සමඟින් භික්ෂූන්වහන්සේලා මැතිවරණවලට ඉදිරිපත්වීමේ පසුබෑමක් දක්නට ලැබුණද යළි 1962 වසරේදී ද ගම්සභා මැතිවරණයක් සඳහා වැල්ලේතොට පඤ්ඤාදස්සි හිමියෝ ඉදිරිපත් වූහ. උන්වහන්සේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් මාතර තිහගොඩ ගම්කාර්‍ය සභාවට ඉදිරිපත්වූ අතර උන්වහන්සේ ද එම මැතිවරණයෙන් පරාජයට පත්වූහ. එහෙත් පසුව උන්වහන්සේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාතර තිහගොඩ ගම්සභාවට ඉදිරිපත්ව එහි සභාපති ධුරයටද පත්වූහ.
වසර විස්සකට ආසන්න කාලයක් මාතර තිහගොඩ ගම්කාර්‍ය සභාව නියෝජනය කළ වැල්ලේතොට පඤ්ඤාදස්සි හිමියෝ 1989 පැවැති භීෂණ සමයේදී ත්‍රස්තවාදී කැරලිකරුවන් විසින් ඉතා අමානුෂික ලෙස ඝාතනය කරන ලදි.
පසුව ලුණුගල පට්ටිපොළ ගම්කාර්‍ය සභාවට ඉදිරිපත්වූ එල්. උපරතන හිමියෝ එහි සභිකයෙකු ලෙස තේරි පත්වූහ. කෙසේ නමුත් ජනතාව තුළ මෙන්ම භික්ෂූන්වහන්සේලා තුළ ද දේශපාලනය කෙරෙහි තිබූ ආකල්ප යුගයෙන් යුගයට වෙනස් වූවේය. ඒ අනුව කාලය ගතවෙද්දී භීක්ෂූන්වහන්සේලා ගම්සභා, නගරසභා, පළාත් සභා මෙන්ම පාර්ලිමේන්තු දේශපාලනය සඳහා ද යොමුවීම නිසා මන්ත්‍රී හාමුදුරුවරු බිහිවූහ.
මැතිවරණ නීර්ණ කොමිසමට අනුව 1977 වසර වනවිට කරන්දෙණිය නමින් නව මැතිවරණ කොට්ඨාසයක් ගාල්ල දිස්ත්‍රික්කයට එක්විය. එවකට තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාම පන්සලේ විහාරාධිපති හිමියන්වූ පිණිකහනේ සද්ධාතිස්ස හිමියන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස කරන්දෙණිය ආසනයට තරග වැදුණේය. එදා රාත්‍රියක පන්සලේ තාප්පයේ කවුදෝ ලියා තිබුණේ Ò දන් බුසන් Ò කියාය. මෙය දුටු පොඩිහාමුදුරුවෝ ලොකු හාමුදුරුවන් දැනුවත් කර එය මකා දමන්නට සැරසුණේය. එපා පොඩිනම මැකුවොත් හෙට තව එකක් ලියයි. එසේ කියූ ලොකු හාමුදුරුවෝ එදා රෑ තාප්පයේ ලියෙව්වේ Òබණුත් බුසංÓ යනුවෙනි කෙසේ නමුත් සද්ධාතිස්ස හාමුදුරුවෝ එම ඡන්දයෙන් පරාජයට පත්වූහ. එම ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වූ බන්දුල සේනාධීර මහතාය.
කැලණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධියක් ලබාගත් බද්දේගම සමිත හිමියෝ එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයේ ආගමික අධ්‍යාපනය හා දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්‍ය උපාධියක්ද ලබාගත් උගත් හිමිනමකි. විශ්වවිද්‍යාල සමයේද පෙරළිකාර චරිතයක් වූ උන්වහන්සේට ඒ කාලය තුළ සිරගත වන්නටද සිදුවූහ. කලක් විදේශගතව සිටි උන්වහන්සේ 1990 දශකයේ ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූහ. පළමුවෙන්ම බද්දේගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්ව එහි උප සභාපතිධුරයට පත්වූ සමිත හිමියෝ 1997 වසරේදී දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස තේරි පත්වූහ.
2001 පැවති මහමැතිවරණයට දකුණෙන් පළමුවරට ලංකා සමසමාජ පක්ෂයෙන් බද්දේගම සමිත හිමියෝ ඉදිරිපත් වූහ. එහිදී උන්වහන්සේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු මන්ත්‍රී හාමුදුරුවන් ලෙස ඉතිහාසයට එක්වූහ.
2004 වසරේදී උන්වහන්සේට පාර්ලිමේන්තු අසුන අහිමිවුවද දේශපාලනය අත් නොහැරිය උන්වහන්සේ දකුණු පළාත් සභාව විසුරුවා හරින තෙක් පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය. 2021 මැයි මස 30 වන දින මාතර පෞද්ගලික රෝහලකදී කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් උන්වහන්සේ අපවත් වූහ.
1990 දශකයේ ආරම්භවූ ජනතා මිතුරෝ ව්‍යාපාරයත්, පසුව ආරම්භවූ සිංහල වීර විදහන ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරයත්, ජාතික සංඝ සම්මේලනයත්, එකතුව එම සංවිධානවල ක්‍රියාකාරීව සිටි භික්ෂූන් වහන්සේලාගේ සහ ගිහියන්ගේ සහභාගිත්වයෙන් 2004 වර්ෂයේදී ජාතික හෙළ උරුමය නමින් පක්ෂයක් පිහිටුවාගනු ලැබීය. එම හෙළ උරුමය පක්ෂයේ ආරම්භක සාමාජිකයන් අතර පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්, ඕමල්පේ සෝභිත හිමියන්, අතුරලියේ රතන හිමියන්, කොටපොළ අමරකිර්ති හිමියන්, උඩුවේ ධම්මාලෝක හිමියන්, කොලොන්නාවේ සුමංගල හිමියන් යන භික්ෂූන්වහන්සේලා, පාඨලී චම්පික, තිලක් කරුණාරත්න යන මහත්වරුද වූහ. ධර්ම රාජ්‍යයක් උදෙසා පාරමිතා පෙරහර යන තේමාව මුල්කරගෙන 2004 වර්ෂයේ අප්‍රේල් මාසයේ පැවැති මහමැතිවරණයට ඉදිරිපත්වූ ජාතික හෙළ උරුමය මන්ත්‍රී ආසන 09 ක් දිනාගනු ලැබීය. එම පක්ෂයේ ලාංජනය වූයේ හක්ගෙඩියයි. එම පක්ෂයේ සභාපති ධුරය දැරුවේ පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන්ය.
මැතිවරණයකට පෙර එක්වූ මෙම කුඩා කණ්ඩායම තුළ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් එකමුතු වැඩපිළිවෙළක් තිබුණේ නැත. මේ නිසා ඇතිවූ ගිහි භික්ෂු අරගලයක් හේතුවෙන් කොලොන්නාවේ සුමංගල හිමියන් සහ උඩුවේ ධම්මාලෝක හිමියන් පක්ෂය හැර ගියහ. සිහළ උරුමයේ ආරම්භකයාද එක්සත් ජාතික පක්ෂයට එක්විය. උඩුවේ ධම්මාලෝක හිමියන්ද පැවසුවේ දේශපාලනයට පිවිසීමට තමන් ගත් තීන්දුව වැරදි බව කල්පනා කරම්න් සිටින බවය.
මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය ග්‍රාමයේ උපන් අතුරලියේ රතන හිමියෝද 1984 වර්ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් ලබා ඇත. එම විෂයට වැඩි ලකුණුලාභීයා ලෙස සමත්වූ උන්වහන්සේ විශ්වවිද්‍යාල ජීවිතය තුළදී ශිෂ්‍ය ව්‍යාපාරවල කැපීපෙනෙන නායකත්වයක් දරා සිරගතවද සිටි ස්වාමීන් වහන්සේ නමකි.
මේ අනුව 1946 වසරේ සිට මේ දක්වා වරින්වර ගම්සභා, ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුවද නියෝජනය කරමින් මන්ත්‍රී හාමුදුරුවන් සිටි බවට ඉතිහාසයේ සඳහන් වුවද, මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පමණි. එහෙත් ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වෙමින් සිටින භික්ෂූන්වහන්සේලා මේ වනවිටත් සිටිති.
මේ නිසා භික්ෂූන් වහන්සේලා දේශපාලනය කෙරෙහි දක්වන උනන්දුව අනුව අනාගතයේදී ගම්සභා, නගරසභා, පළාත්සභා, පාර්ලිමේන්තු මැතිවරණවලට පමණක් නොව ජනාධිපතිවරණවලටද භික්ෂූන්වහන්සේලා ඉදිරිපත් වුවහොත් එය පුදුමයක් නොවේ. පවතින බෞද්ධ ආගමික සමාජයේ පිළිවෙත් හා සිතුවිලි පුද්ගලයාගෙන් පුද්ගලයාට තම සිතැඟි පරිදි වෙනස්කර ගැනීම අද සමාජයේ සිරිතක්ව පවතින අතර එය බෞද්ධ ධර්මයට අනුව සිදුවන්නක් නොවන බව නම් කිව හැකිය.
එනිසා අනාගතයේදීත් මේ සමාජය තුළ දේශපාලනයේ නිරතවන මෙන්ම මන්ත්‍රී පදවි තානාන්තර ලබාගෙන ජනතා පාලනයට එකතුවන මන්ත්‍රී හාමුදුරුවරුන් දැකගන්නට අපට හැකියාව ලැබෙනු ඇත.