රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ මැතිවරණවලදී විවිධ ප්‍රචාරණ උපක්‍රම භාවිත විය. විශේෂයෙන්ම 1936 පැවති අවසන් රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී අපහාස උපහාස මෙන්ම රසවත් සිදුවීම් එකතුවී මේ ප්‍රචාරණ ක්‍රම ක්‍රියාත්මක විය. කුඩා පෙරහර සැදී ගමන් කිරීම එක ප්‍රචාරක ක්‍රමයක් විය. එසේ ම ප්‍රචාරක පත්‍රිකා භාවිතය, කවි මඩු, රබන් කරත්ත මෙහිදී කැපී පෙනිණි.
මෙහිදී මැතිවරණය ඉලක්ක කරගෙන වෙනම පුවත්පත් පළ කෙරිණි. ඒ අතරින් ‘ජයබිම‘ පුවත්පත වෙනත්ම ආකාරයක් ගත් පුවත්පතක් විය. එහි කළුතර ආසනය සඳහා තරග වැදි නීතිඥ ඇලෝසියස් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ප්‍රචාරය ලබා දී තිබුණේ මෙසේය.
“කළුතර ආසනයේ හිටපු මන්ත්‍රීවරයා ණය ගැතිවීම, මන්ත්‍රණ සභාවේ දී නිකන් ඉඳීම ආදිය නිසා කීර්තිය ලත් කෙනෙකි. එබැවින් ඒ මහතාට විශ්‍රාම දී නීතිඥ ඇලෝසියස් ප්‍රනාන්දු මහතා මෙවර කළුතර මන්ත්‍රීවරයා හැටියට තෝරා පත්කර ගැනීම එම පළාත්වාසීන්ගේ භාග්‍යයකි…”
මැතිවරණයේදී කවිය හොඳ ප්‍රචාරක මාධ්‍යයක් විය. බොහෝ දේශපාලනඥයන් ජනතාවට සමිපවීමේ මාධ්‍යයක් ලෙස කවිය භාවිත කළේය. මේ 1936 දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට අවිස්සාවේල්ල වෙනුවෙන් තරග කළ පිලිප් ගුණවර්ධන ගැන කවියක මෙසේ සඳහන්ව පැවතිණි.
ඔළුවට පොලු පහර ආවත් හෙණ වදින
කිසි විට බිය නොවී තම යුතුකම ලෙසින
සමයට දෑ රටට නිතියෙන් වැඩ කරන
මැතිඳුට නුදුන්නොත් වරදකි හෙණ ගහන
මේ ආකාරයෙන් මැතිවරණය සඳහා පෙළ ගැසුණි. මැතිවරණය පෙබරවාරි 22 වැනි දින පැවැත්වීමට සියල්ල සූදානම් විය. 1936 පෙබරවාරි 21 දින දිනමිණ පුවත්පත “මන්ත්‍රීන් තේරීමේ දිනය හෙටයි!” යන සිරසින් මැතිවරණය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර තිබිණි.
“හෙට උදෑසන 8 පටන් සැන්දෑවේ 5 දක්වා ඡන්දදායක කොට්ඨාස 12ක ඡන්දය විමසීම පවත්වනු ලැබේ. ඡන්ද පළවල්හි ආණ්ඩුවෙන් පිළියෙල කරන සියලුම කටයුතු දැන් අවසන්ය. හෙට ඒ කටයුතවල නියැළෙන නිලධාරීන්ට ස්වකීය කාර්යය හොඳින් හුරුවනු පිණිස “අත හුරුකිරීම්” ද බොහෝ ගණනක් පවත්වා තිබේ. පානදුරේ, කළුතර, මීගමුව සහ බණ්ඩාරවෙල යන කොට්ඨාස හතරේ ඡන්දය විමසීම සම්බන්ධයෙන් හෙටම රෑ බෝවී ප්‍රතිඵල ප්‍රකාශ කරනු ලැබේ යයි බලාපොරොත්තුව පවතී. හෙට පවත්වන සියලුම තරග ඉතා තියුණු විය හැකි යයි සිතීමට පුළුවන. සමහර විට බලාපොරොත්තු නොවූ කෙනකුට තේරෙන ස්ථානත් ඇති වන්ට පුළුවන් බැව්ද නොඅනුමානයි“
මේ ඡන්දය පැවැත්වූ දිනයේ තිබූ තවත් විශේෂත්වයක් විය. එනම් බස් වර්ජනයක් ක්‍රියාත්මකව පැවතීමයි. මෝටර් රථ ආඥා පනතේ වගන්ති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට යෑමට විරෝධය පෑම සඳහා මෙම වර්ජනය සූදානම් කෙරී තිබිණි. අගනුවර පමණක් නොව දිවයිනේ සෙසු ප්‍රදේශවලද වර්ජනය දියත් කෙරී තිබිණි. මෙම වර්ජනය ක්‍රියාත්මකවීම නිසා ඡන්දයට බාධා පැමිණිය හැකි බව දිනමිණ පුවත්පත “රියැදුරන් වැඩ අත් හැරීමෙන් විය හැකි කරදරය” යන පුවතින් වාර්තා කර තිබිණි.
“බස් රියදුරන් වැඩ අත්හැරීම නිසා ඡන්දදායකයන් ඡන්ද පොළට ගෙන යෑම අතින් කරදර ඇති වන්ට ඉඩ තිබේ. නමුත් ඡන්දය දීමට යන හැම දෙනාම ආරක්ෂා කිරීමට පොලිසිය අතිරේක සංවිධාන යොදයි.”කෙසේ වෙතත් වර්ජනය නිසා ජනතාව විකල්ප ප්‍රවාහන සේවා වෙත යොමු වී තිබිණි. මේ සම්බන්ධයෙන්ද දිනමිණ “ බස් සේවකයන්ගේ සටන ආරම්භවීම – කොළඹ බස් නැවතුම් පොළවල් සියල්ලම පාළු පිට්ටනි බවට පත්වීම“ යන සිරසින් මෙසේ වාර්තා කර තිබිණි.
“හිමිදිරි පාන්දර නගරාසන්න මං මාවත්වල බස්රථ කිහිපයක් හැසිරුණු නමුත් දවල් වෙන කොට ඒවාද නතර කරනු ලැබීය. දවල් 12 වනවිට බස් ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇන හිටියත් නගරයේ සියලුම බස් නැවතුම් පොළ පාළු පිට්ටනි බවට පත්විය. කොළඹ බලා එන නොයෙක් දෙනාට හා දහස් ගණන් ලිපිකාරාදීන්ටද එහෙයින් දුම්රියේ පිටිවහල සොයන්නට සිදුවිය. දුම්රියට මේ කරණකොට ලොකු වාසියක් අත්පත් විය. බස් ගමන ආරම්භවීමට පෙර දුම්රියෙහි හොඳ දසා කාලයෙහි මෙන් දුම්රිය මගීන්ගෙන් පිරී ගියහ. මරදානේ සිට කොටුවටද තොටළඟ ආමර් වීදියේ සිට කොටුවටත් මෝදර සිට පිටකොටුවටද ගමන් කළ බස් රථ ද නතර කරන ලද හෙයින් නගරයේ වීදි රථවලටද ගජවාසියක් අත් පත්වූ බව පෙනේ.”
කෙසේ වුව කුමන බාධකය පැමිණියද මැතිවරණය නිසි පරිදි පැවැත්විණි. එහි පළමුවෙන්ම ප්‍රතිඵල නිකුත් වූයේ මීගමුව හා පානදුරේ යන ආසනවලය. තම මන්ත්‍රීවරයා ජයගත් බව දැනගත් ආධාරකරුවෝ ප්‍රීතිඝෝෂා නගමින් මංමාවත් දිග පෙරහර ආකාරයෙන් ගමන් කර තිබිණි. කොඩිවලින් සැරසූ මෝටර් රථ සහ බස් රථ නගරයේ දක්නට ලැබිණි. සමහර පිරිස් කවි, ගී, සින්දු, වියෝලා, රවිකිඤ්ඤා ආදියෙන් සංගීතය සපයමින් විනෝද වූහ. විශේෂයෙන්ම කාන්තාවන් උනන්දුවෙන් ඡන්ද කාර්යන්හි නියැළුණු බව 1936 පෙබරවාරි 24 ‘දිනමිණ’ පුවත්පත වාර්තා කර තිබේ.
“කොඩිවලින් සැරසූ මෝටර් රථ සහ බස් රථවලින් නගර විථි පිරෙන්නට විය. තම තමන්ගේ ප්‍රසාදයට පාත්‍රවූ මන්ත්‍රීධූරාපේක්ෂකයන්ට නියමිත වර්ණවලින් යුත් මල් හෘදයට ළංකොට පපුවේ පැලඳ කොඩි අතින් ගත් ස්ත්‍රී පුරුෂයන්ගෙන්ද මංමාවත් අතුරු සිදුරු නැතිව සංකීර්ණව පැවතිණි. සියල්ලෝම පාහේ හෘදයංගම හැඟීමෙන්යුක්තව මහත් ඕනෑකමින් ඡන්දපළ කරා ගියහ.”
“ ඒ ඒ මන්ත්‍රීධූරාපේක්ෂකයන්ට නියමිත වර්ණයෙන් යුත් ධජ කොඩි පතාකාදියෙන් සැදුම් ලත් මංමාවත් සහ මන්දිරයන් නිසා ඇතිවූ මනෝරම්‍ය ශෝභාව මහත් උද්‍යෝගයෙන් සමූහ සමූහව ඇතැම්විට පෙරහර මෙන් සැරසී ගමන්ගත් කාන්තාවන්ගේ වෛවර්ණ සාරි ආදි වූ ආයිත්තම්වලින් අධිකත්වයට පැමිණියේය. කාන්තාවන්ගේ උනන්දුව හා ඉදිරිපත්වීම පුරුෂයන්ට විඩාව අමතකවීමට මෙන්ම උනන්දුව වැඩිවීමටද හේතුවක් විය.”
මැතිවරණය මෙසේ බොහෝදෙනාගේ උද්‍යෝගය මධ්‍යයේ පැවතිණි. මේ උනන්දුව නිසාම ‘නොදැමුණු චණ්ඩයන් විසින් හඬ නගා කියන ලද ඇනුම් පදවල හා උපහාස වචනයන්ගේ කටුකත්වය ඉබේම යටවී ගොස් තිබූ බව’ එකල ‘දිනමිණ’ අවධාරණය කර ඇත.
“උන්නතිය කොතරම් විශාල වුවද ප්‍රතිමල්ලව හැඟීම් කොතරම් බලවත් වුවද අශෝභන ඝට්ටනවලින් තොරව ඡන්දය විමසීම සිදුවිය. සාමදානය කඩවන කිසිවකුත් නොකොට මේ තදබල තරගය අවසන් කරන්නට ලැබීම ඉතා විශිෂ්ඨ සිද්ධියක් බැව් කිව යුතුය” ඒ දිනමිණේ තවත් සටහනකි.
කොළඹ අවට එවැනි සාමදානයක් දැකගත හැකිවුවත් මාතලේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. එම කොට්ඨාසයේ ඡන්දය අවසානයේදී මන්ත්‍රීවරයකුට වෙඩිතැබීමෙන් හෙතෙම බරපතළ තුවාල ලැබීය. රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරුණු අලුවිහාරේ මහතාට මෙසේ වෙඩි තබා තිබිණි. වෙඩිල්ල හිසේ වැදීමෙන් අලුවිහාරේ මහතා රෝහල්ගත කෙරුණු අතර ඔහු සමඟ සිටි තවත් සිව්දෙනකු වෙඩි ප්‍රහාර හේතුවෙන් එම ස්ථානයේදීම මරුමුවට පත් වූහ. තවත් 15කට තුවාල සිදුවිය.
මෙය ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය අනුව පැවති අවසන් මැතිවරණය විය. ඉන් පසුව 1941දී පැවැත්විය යුතු වුවත්, දෙවැනි ලෝක සංග්‍රාමය නිසා නැවත ඡන්දයක් නොපැවැත්වුණු අතර නිල කාලය වසර 10ක් දක්වා දික් කෙරිණි. කෙසේ වෙතත් ඉන් අනතුරුව රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවෙන් මැතිවරණ නොපැවැත්විණි. ඒ 1947 දී සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව හඳුන්වාදීම නිසාවෙනි.