Home » අපේ බලාපොරොත්තුව විපක්ෂයේ සිටීම නොවෙයි

අපේ බලාපොරොත්තුව විපක්ෂයේ සිටීම නොවෙයි

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණී තිලකසිරි

by mahesh
November 1, 2024 1:00 am 0 comment

ල්හානි ජයවර්ධන

ඔබ දේශපාලනයට පිවිසීම සිදු වන්නේ කවරාකාරයෙන්ද ?

මම 1990 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැස්බෑව ප්‍රාදේශීය සභාවේ පළමු සභාපති වුණා. එවකට තිබුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. 1993 පළාත් සභා මැතිවරණයේදීත් මම ඉහළින්ම පළාත් සභාවටත් ගියා. චන්ද්‍රිකා මැතිනියගේ ආරාධනයෙන් මම පාර්ලිමේන්තුවට ඉල්ලුවා. 11 දෙනෙක් පාර්ලිමේන්තු යනකොට මම හිටියේ 12 වැනියට. සී. බී. ඇමැතිතුමාගේ අභාවයෙන් පසු ඒ පුරප්පාඩුවට පාර්ලිමේන්තුවට ගිය මම එහි වසරක් පමණ හිටියා. 1993 ඉඳලා පළාත් සභාව නියෝජනය කරනවා. 2004 ක්‍රීඩා, යෞවන කටයුතු ඇමැති වුණා. කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන, ධීවර ඇමැතිවරයා හැටියටත් කටයුතු කළා.

දීර්ඝ කාලයක් දේශපාලනයේ නියැළුණු කෙනකු විදිහට ඔබෙන් ජනතාවට යමක් සිදුව තිබෙනවාද ?

ඔව්. මම ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කර තියෙනවා. 1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1996 මාව හෝමාගම සංවිධායක කළා. 1996 ඉඳලම මේ පසුගිය කාලය දක්වාම හෝමාගම ආසනයේ සංවිධායකත් මමයි. හෝමාගම ආසනයේ පාසල් 16කට ගොඩනැඟිලි 16ක් ලබා දුන්නා. ඒ වගේම හෝමාගම ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කිරීමට මට හැකියාව ලැබුණා. 2010 පාර්ලිමේන්තු මැතිවරණයට ආසන්න වෙද්දී බන්දුල ඇමැතිතුමා ආවා දෑත් ශක්තිමත් කරන්න. ඒ වෙලාවේ එයාට හෝමාගම ආසනය දෙන්න සිද්ධ වුණා.

ඇයි පක්ෂ මාරුවකට ගියේ ?

නායකත්වයේ තිබූ ප්‍රශ්න නිසා ඒ තීරණය ගත්තා. නායකතුමාගේ තිබූ යම් යම් කාරණාවලට අපට එකඟ වෙන්න බැරි වුණා. මේ ප්‍රශ්න එන්න පෙර මම ඉවත් වුණා. අපි පහළොස්දෙනාගෙන් එකොළොස් දෙනෙක්ම ගියා. පක්ෂ නායකයෙක් හැටියට මේ ටික එක මිටට තියා ගත්තා නම් අඩුම තරමේ මේ වෙනකොට අපි විපක්ෂයේ හෝ ඉන්නවා. අවසානයේ හතර පස්දෙනෙක් ඉතුරු වුණා. ඒ හතර පස්දෙනත් සීසීකඩ ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කරලම දැම්මා.

ඔබ මෙවර මහමැතිවරණයේදී තරග කරන්නෙ ප්‍රබල විපක්ෂයක් වෙනුවෙන්ද ?

අනිවාර්යයෙන්ම විපක්ෂයට එන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ විපක්ෂයේ සිටීම නොවේ. අනාගතයේදී අපි ආණ්ඩුවක් හැදීමට බලාපොරොත්තු වෙනවා. මගේ පෞද්ගලික මතය නම් ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබුණු ඡන්ද ප්‍රමාණය මහමැතිවරණයේදී ලැබෙන්නේ නෑ. ජනාධිපතිවරණයේදී පක්ෂ මාරු කිරීමට මුළු රටම බලාගෙන හිටියා. මේ රටේ දේශපාලනඥයන් කළ හොරකම, වංචාව සහ දූෂණය මේ හැම දෙයක්ම අවසානයේ ගියේ අහිංසක ජනතාව පිටින්. අහිංසක ජනතාවගෙන් එකතු කරන බදු මුදල් වලින් ජනතාවට සිදුවිය යුතු සේවය සිදුවුණේ නෑ. ඒ වෙනුවට සිදුවූයේ දූෂිත දේශපාලනඥයන්ගේ සහ දූෂිත නිලධාරීන්ගේ හිතවතුන් පෝෂණය කිරීමයි. වසර 76ක් පුරා සිදු වූ මේ දූෂිත ක්‍රියා ඉවසා සිටි ජනතාව අවසානයේ අරගලයක් කිරීමටත් පෙළඹුණා.

ජනතාව විශාල ආවේගයකින් හිටියේ. කවුරු දේශපාලනය කළත් ජනතාවට ඔවුන්ගෙන් සේවයක් ඉටු නොවන බව තේරුම් ගෙන ඒ් වෙනුවෙන් අරගලය ආරම්භ කළා. එයින් දේශපාලන වාසි ගැනීමට කටයුතු කළ ඇතැමුන් ද අරගලකරුවන් විසින්ම ප්‍රතික්ෂේප කළ බව කවුරුත් දුටුවා. අපිත් එක්ක රැස්වීම්වලට, පෙළපාළිවලට ගිය මිනිස්සු ඡන්දය දීලා තියෙන්නේ ජාතික ජන බලවේගයට. ඒ මහජන මතය. හොරකම් කළ අයට දඬුවම් දෙයි කියන විශ්වාසයට. දැන් තව තව පක්ෂ කියනවා, ප්‍රබල විපක්ෂයක් හදනවා කියලා. මගේ නම් පෞද්ගලික බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස මහතා අගමැති කිරීමයි.

එය ඔබ ඇතුළු පාක්ෂිකයන්ට කළ හැකිද ?

විශ්වාසයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කර තිබෙන වැඩ පිළිවෙළ ප්‍රාෙයා්ගික වන නිසා එය මේ මහ පොළොවේ ක්‍රියාත්මක කළ හැකි බව සියලු දෙනාටම අවබෝධ වී තිබෙනවා. සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි ජනහිත වාදි වැඩපිළිවෙළක් එතුමා සතුව තිබෙනවා.

දේශපාලන ඉතිහාසය තුළ අප දැකපු දෙයක් තමා පවතින ආණ්ඩුව කරන හැම දෙයකටම විපක්ෂය විරුද්ධ වෙන එක. එය එසේ විය යුතුද ?

ඒකට එකඟ වෙන්න බෑ. ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ගන්නා වැදගත් තීරණවලට අපි සහාය දිය යුතුයි. ජනතාව අපහසුතාවට පත්වන තීන්දු තීරණ ආණ්ඩුව ගන්නේ නම් එයට විරුද්ධ විය යුතුයි. පසුගිය කාලසීමාවේ සිදු වූ දේවල් එක්ක ජනතාවට දේශපාලනඥයා එපාම වුණා. 225ම එපා කියන තැනට ආවා. ඒ වෛරය පිරිමහන්න තමා අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපති කළේ. දැන් මිනිස්සු බලා ඉන්නවා එතුමා දුන් පොරොන්දු ඉටු කරන කල්. දැන් ඒ පොරොන්දු ඉටු කරන්න පාර්ලිමේන්තු බලය ඉල්ලනවා. පාර්ලිමේන්තු බලය මොකටද? ආණ්ඩුවක් තියනවා. කැබිනට් එකත් ඉන්නවා. ඕන තීන්දු තීරණ ගන්න පුළුවන්.

පාර්ලිමේන්තු නියෝජනයේදී ඔබගේ වැඩිම අවධානය යොමු කරන්නේ කා කෙරෙහිද ?

තරුණ තරුණියන්ගේ ගැටලු විසඳීම අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් යමක් කළ යුතුමයි.

ඒ වෙනුවෙන් වූ සැලැස්මක් ඔබ සතුද ?

ඔව්. උගත්, බුද්ධිමත් තරුණ තරුණියන් විශාල පිරිසක් විරැකියාවෙන් පෙළෙනවා. ඒ වෙනුවෙන් විසඳුම් දීම කඩිනමින් සිදු කරනවා. ඒ වගේම ග්‍රාමීය මට්ටමේ වේවා නාගරික මට්ටමේ වේවා සෑම දරුවකුටම නිවැරදිව අධ්‍යාපනයක් ලැබිය හැකි වටපිටාවක් නිර්මාණය කරනවා. ජනප්‍රියයැයි කියාගත් පාසල් ක්‍රමයෙන් බැහැරව සියලු දරුවන්ට එක හා සමාන අධ්‍යාපනයක් ලැබිය හැකි වටපිටාවක් නිර්මාණය කිරීම අද අත්‍යාවශ්‍යම කාරණයක් වී තිබෙනවා. ඒ වෙනුවෙන් මම පාර්ලිමේන්තුව තුළ පෙනී සිටිනවා. කෘෂි කර්මාන්තයෙන් මේ රට ස්වයං පෝෂණය කිරීමට පෙරමුණ ගන්නවා. නිසි කලට ගොවිතැන් සඳහා අවශ්‍ය පො‌ෙහාර ඇතුළු අත්‍යවශ්‍ය දෑ සහන මිලට ගොවීන්ට ලබාදීමටත් ඔවුන්ගේ නිශ්පාදනවලට නිසි වටිනාකමක් දීමටත් කටයුතු කරනවා.

මේ නවක මුහුණු මැතිවරණයට එන්නේ පළපුරුදු, අත්දැකීම් ඇති යැයි කියන දේශපාලනඥයන්ගෙන් ජනතාවට සේවයක් ඉටු නොවූ නිසා නේද ?

ඇත්ත. ජනතාවගේ අවශ්‍යතා තේරුම් නොගත් ඇතැම් දේශපාලනඥයන් නිසා මේ තත්ත්වය නිර්මාණය වුණා. නමුත් ජනතාව වෙනුවෙන් අවංකව කැප වූ දේශපාලනඥයන් පිරිසකුත් ඉන්නවා. ඔවුන් වටා ජනතාව නැවතත් එකතුවී සිටිනවා. ජනතාව වෙනුවෙන් යමක් නොකළ දේශපාලනඥයන් අද වෙනකොට මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කරලා. ඒ ඔවුන්ට ඡන්දය නොලැබෙන බව දන්න නිසයි. නමුත් ජනතාව වෙනුවෙන් සේවය කළ දේශපාලනඥයන්ට එවැනි ඉරණමක් අත්වී නෑ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT