Home » මූණු අලුත් වුණාට අපි දේශපාලනයට අලුත් නෑ

මූණු අලුත් වුණාට අපි දේශපාලනයට අලුත් නෑ

ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක තිළිණ සමරකෝන්

by mahesh
November 1, 2024 1:00 am 0 comment

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

ඔබ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ කොයි කාලෙද? මොන විදිහටද ?

ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලනයත් එක්කයි මං ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ. 2002 වගේ කාලයක රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකාර පීඨයට මං ඇතුළත් වෙනවා. දෙවැනි අවුරුද්දෙදි ශිෂ්‍ය නියෝජිතයෙකු ලෙස ශිෂ්‍ය සංගමයට තේරෙනවා. 2004 වෙද්දි මහා ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික වෙනවා. ඊට පස්සෙ නැවත 2005-06 වෙද්දි කළමනාකාර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස පත්වෙනවා. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වෙලා, පසුකාලීනව බැංකු රස්සාවට එනවා. එහිදී බැංකු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කටයුතුත් එක්ක සම්බන්ධවෙලා දේශපාලනය කරනවා. ඒ සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ ක්‍රියාධරයෙක් විදිහට. ඊට පස්සෙ වෘත්තීය සමිති සංවිධාන කටයුතු එක්කම පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනය එක්ක සම්බන්ධ වෙනවා. 2018 පළාත් පාලන මැතිවරණයට ඉපලෝගම ප්‍රාදේශීය සභාවට ජවිපෙ කණ්ඩායම් නායකයා ලෙස ඉදිරිපත් වෙනවා. පසුගිය මහමැතිවරණයටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ආසනයෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුණා. මේ වෙද්දී මගේ ක්‍රියාකාරී දේශපාලනයට අවුරුදු විස්සක් විතර වෙනවා.

ජවිපෙ, ‘ජාතික ජන බලවේගය’ ලෙස මෙන්ම විවිධ අවස්ථාවල කාලීන තත්ත්වයන් අනුව විවිධ තීන්දු තීරණ ගන්නවා. ඒ දේවල් මත සමහරු පක්ෂය හැර ගිය අවස්ථාත් තියෙනවා. ඔබට පක්ෂයේ තීන්දු සමඟ ගැටීම් ඇතිවෙලා නැද්ද?

විටෙන් විට පක්ෂයේ ඛණ්ඩනයන් සිදුවුණු බව ඇත්ත. මෑත යුගයේ ලොකුම ප්‍රශ්නය ආවේ පෙරටුගාමී පක්ෂය ලෙස කණ්ඩායමක් කැඩී වෙන්වුණු අවස්ථාවනෙ. පෙරටුගාමී කණ්ඩායම ලෙස කැඩී වෙන්වුණු අතිබහුතරය ශිෂ්‍ය දේශපාලනය සමඟ සිටි අය. ඉතින් ඒ අය මටත්, අපේ ගෙදරත් ඇවිත් ඔය මත ගැටුම් ගැන සාකච්ඡා කළා. ඔවුන් සමඟ එකතුවෙන්න කියලා ආරාධනා ලැබුණා. ඒත් මං දිගටම පක්ෂය විශ්වාස කරලා, පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්ක රැඳුණා.

පක්ෂය මේ එන්නේ විවිධ හැලහැප්පීම් මැද ගමනක් ? ඒ තුළ විවිධ සන්ධාන ගතවීම්, විවිධ අත්හැර දැමීම් තියෙනවා. මේ වෙද්දී යන්නේ යා යුතු ගමන නෙවෙයි කියලා ඇතැමුන් චෝදනා කරනවා. ඔබේ අදහස මොකක්ද ?

පැවති පරමාදර්ශී දේවල් එක්ක ඒ විදිහටම යන්න බෑ. එකිනෙකාට එක එක විදිහට අර්ථ දක්වන්න පුළුවන් වුණත්, ධනවාදීද සමාජවාදීද කියන එක නෙවෙයි සැබෑ ප්‍රශ්නය. සැලසුම්ගත ආර්ථිකයක් තුළින් අපේ රටේ නිෂ්පාදනයට ප්‍රමුඛතාව දෙන ගමන්, මිනිසුන් එකී නිෂ්පාදන ක්‍රියාවලියට සාධාරණ ලෙස දායක කරගනිමින්, එහි ප්‍රතිලාභ මිනිසුන්ට ලබා දෙන ගමන් මිනිසුන්ගේ ජන ජීවිතය ඉහළට ඔසවා තැබීමයි. රට එතැනට යමින් තිබෙනවා.

අනුර කුමාර ජනාධිපති සහෝදරයට ලැබුණේ බංකොලොත් රටක්. මේක ඔබ කියන තැනට ගෙනියන එක අභියෝගයක් නෙවෙයිද?

අභියෝගයක් තමයි. ඒත් බැරි නෑ. හිටපු පාලකයින් මේක සැලසුම් කරලා යහපත් විදිහට කළමනාකරණය කළ බවක් පේන්න නෑ. හොරකම, මහා පරිමාණ දූෂණය හා වංචාව තමයි තිබුණේ. ඒත් අපට තියෙන්නෙ මේක හදන්න ඇත්ත වුවමනාවක්. එහෙව් අය එකතුවුණාම දේශපාලනය බලයත් එක්ක මේ වෙනස ඇති කරන්න පුළුවන්. අනෙක් කාරණය නම් කවුරු පොර ටෝක් දුන්නත්, අයි.එම්.එෆ්. එකෙන් තොරව හුදකලා ගමනක් යන්න දැන් බෑ. ඒ එකඟතාවන් එක්ක රටට යහපත් ලෙස ගළපා ගනිමින් මේ ගමන යන්න අපට පුළුවන්.

ඉදිරි මහමැතිවරණයෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ස්ථාපිත කර ගත හැකිද? ඇල්පිටිය ඡන්දය ගත්තම දිනුවත් මන්ත්‍රී ආසන 15යි. පැරදුණු ඔක්කොම එකතු කළාමත් ආසන 15යි.?

ජනාධිපතිවරණයට එහා ගිය මිනිස්සු ටිකක් දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ගමේ ගොඩේ මිනිස්සු එක්ක කතා බහ කරද්දී, එයාල එක්ක රැස්වීම් තියද්දී ඉස්සර ගෙදරකින් තරුණයෙක් තරුණියක් විතරක් අපට ඡන්දය දුන්න නම් දැන් වැඩිහිටියන් පවා පවුල් පිටින් අපට ඡන්දය දෙන තැනට පත්වෙලා තියෙනවා. වෙනස් වෙලා තියෙනවා. ප්‍රාදේශීය සභා ඡන්දයේදී මන්ත්‍රී ධුර බෙදෙන ආකාරයේ වෙනසක් එක්ක තමා මන්ත්‍රී ධුරවලට ඔහොම වෙන්නෙ.

ගම් මට්ටමේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ මේ මොහොතේ කළ හැකි කාර්යභාර්ය අතර යම් පරතරයක් තියෙනවාද ?

ගමේ මිනිසුන් සෑහීමකට පත්වෙනවා. යම්කිසි කාලයක් ගන්න ඕන. ඒත් එයාලට ළඟ දැනෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවට ඉතා කෙටි කලක් තුළ උත්තර අවශ්‍ය වෙනවා. එහෙම වුණාම දිගුකාලීන දේවල් එයාලා ඉතා කෙටි කලකින් අපෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට පොහොර සහනාධාරය සලකා බලමුකෝ. අපි පොරොන්දුවෙලා තියෙන්නේ රු. 25,000ක පොහොර සහනාධාරයක් දෙන්න. ඒත් අපි හැමදාම ඒක එයාලට දෙන්න බලාපොරොත්තුවක් නෑ.

අඩු මිලට ගොවියාට මිලට ගත හැකි වන සේ පොහොර නිෂ්පාදනය කරන තැනකට අපි යා යුතුයි. ගොවියගේ නිෂ්පාදනවලට හොඳ මිලක් සහතික කරලා, ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය කළ යුතුයි. එහෙම වුණාම හැමදාම සහනාධාර ඉල්ලගෙන එන්න ඕන වෙන්නෙ නෑ.

පැවති දැවැන්ත දේශපාලන චරිත තරගයට ඉදිරිපත් නොවී ඉවත්වෙලා තියෙනවා. ඒ ඇයි ?

ඒ අය දේශපාලනය කළේම ලාභ පාඩු සලකලා. ඒක ඒ අයට බිස්නස් එකක්. දේශපාලනයට ආයෝජනය කළේ ලාභ ලැබීම නිසා පමණයි. ඒත් අපිත් එක්ක මේ දේශපාලනය ලාභ ලබන ව්‍යාපාරයක් කරගන්න ඒ කාටවත් බෑ. පරදින නිසා බිස්නස් එකට ආයෝජනය කරන එක එයාලට පාඩුයි. නමට පොඩි පෝස්ටරයක් ගහලා පාඩුවේ අයින්වෙලා ඉන්නවා. මන්ත්‍රී ධුර දෙක තුනක් ලැබුණොත් තමන්ට එකක් ලැබෙන බව විශ්වාස කරන අය විතරක් රේස් එක දුවනවා. අනිත් අය කඩේ වහලා පාඩුවෙ ගෙදරට වෙලා ඉන්නවා. අපට මෙතැන කිසිම අභියෝගයක් නෑ.

බැංකු නිලධාරියෙක් වෙච්චි ඔබටත්, මේ දේශපාලනය පාඩු නැද්ද ?

ඔබ කියනවා හරි. බැංකුවේ කළමනාකරුවෙකු ලෙස සිටිමින් හොඳ වැටුපක් සහ පහසුකම් ගත්තත්, ඊට වඩා අඩු මන්ත්‍රී වැටුපකට තමා මට දිනුවත් යන්න වෙන්නෙ. දීමනා පවා කප්පාදුවීමට නියමිතයි. ඒත් එහෙම කැපවීමෙන් වැඩ කරන අය අපේ පක්ෂය තුළ ගොඩක් ඉන්නවා.

ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වෙන්නේ අලුත් මුහුණු නිසා මැතිවරණ ව්‍යාපාරයට අවාසියි කියලත් සමහරු කියනවා. ඒක එහෙමද ?

අභියෝගයක් නෑ. මොකද අපේ අයගේ මූණු රටට අලුත් වුණාට දේශපාලනයට අලුත් නෑ. පාර්ලිමේන්තු නොගියට මේ නාමයෝජනා ලැයිස්තුවල සිටින බොහෝදෙනෙක් අවුරුදු ගාණක් තිස්සේ මේ බිමේ දේශපාලනය කරපු අය. ඒ අයට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දේශපාලන දැනුම න්‍යායාත්මකවත්, ප්‍රායෝගිකවත් තියෙනවා. මූණු අලුත් වුණාට දේශපාලනයට අලුත් නෑ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT