Home » රාජ්‍ය සේවක වැටුප් ජනවාරියේ වැඩි කරනවා

රාජ්‍ය සේවක වැටුප් ජනවාරියේ වැඩි කරනවා

ඇමැති විජිත හේරත්

by mahesh
November 1, 2024 1:00 am 0 comment

කොච්චිකඩේ - ඩී. මිහිඳුකුල

රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩි වීමක් ලබන වසරේ ජනවාරියේ සිට අනිවාර්යෙන් ලබාදෙන බව ඇමැති විජිත හේරත් මහතා මීගමුවේදී ඊයේ (31) ප්‍රකාශ කළේය.

තම රජය කිසිදිනෙක රාජ්‍ය සේවකයන් බොරු පොරොන්දුවලින් රවටන්නේ නැතැයි ද හෙතෙම දීපාවලි උත්සවය නිමිත්තෙන් මීගමුව සිත්ති විනයාගර් කෝවිලේ පැවැති ආගමික මෙහෙයකට එක්වෙමින් පැවසුවේය.

පසුගිය රජය ජනවාරි මාසයේ සිට රුපියල් දසදහස බැගින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බව කියූ අතර, එය ජනවාරි සිට අප්‍රේල් දක්වා රුපියල් 5000ක් ලෙසත් අප්‍රේල් සිට ඉතිරියත් හිඟ මුදල ඔක්තෝබර් මාසයේ දෙවැනිදාත් දෙන බවට බොරු කියූ බව ද ඒ මහතා කීවේය.

නමුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් හිඟ මුදල 2025 ජනවාරි 1 වැනිදා සිට බව සඳහන් කර තිබූ බවත් ඇමැතිවරයා කීවේය.

“ඒ වගේම උදය සෙනෙවිරත්න මහතාගේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඡන්දය ඔන්න මෙන්න කියා තිබියදී රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරනවා කිව්වා. හැබැයි ඒ සඳහා කොහේවත් තැනක මුදල් වෙන් කරලා නැහැ. අඩුම ගාණේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනකොට මුදල් අමාත්‍යාංශයෙන් නිරීක්ෂණ අරගෙනත් නැහැ. සල්ලි නැතුව බොරුවට ඡන්දය බලාගෙන පොරොන්දු දුන්නා. අපි කවදාවත් ජනතාවට එහෙම කරන්නේ නැහැ. අපි රාජ්‍ය සේවකයන්ට ලබන අවුරුද්දේ වැටුප් වැඩි වීමක් කරනවා. ඒක කොයි තරම් ප්‍රමාණයකින් ද කියන එක මුදල් තත්ත්වය අනුවයි තීරණය කරන්නේ” යැයිද හෙතෙම කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT