රාත්‍රී ජංගම සංචාරක රාජකාරියේ යෙදවීම සම්බන්ධයෙන් උරණ වූ පොලිස් කොස්තාපල්වරයකු මන්නාරම මුරුන්කන් පොලිස් ස්ථානයේ පාලන අංශයේ උප පොලිස් පරීක්ෂකවරියකට ටී-56 අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම්. ජෙගදීපන් නමැති පොලිස් කොස්තාපල්වරයාය. මුරුන්කන් පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි මෙම කොස්තාපල්වරයාව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවය. එසේ නොවන්නට ඔහු උප පොලිස් පරීක්ෂකවරියට වෙඩි තබා ඝාතනය කරනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් මෙම පොලිස් කොස්තාපල්වරයා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (30) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම නිලධාරියා පසුගිය 29 වැනිදා රාත්‍රී ජංගම සංචාරක රාජකාරි සඳහා යොදවා ඇත්තේ පාලන අංශයේ උප පොලිස් පරීක්ෂිකාව විසිනි. මෙදින සවස 6.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා ඔහු ඇතුළු නිලධාරින් කණ්ඩායමක් රාජකාරියේ නිරතව සිටිය යුතු විය. සවස 6.00න් පසු මෙම නිලධාරියා රාජකාරියට වාර්තා කර ටී-56 අවිය ද රාජකාරි කටයුතු සඳහා පොලිස් ස්ථානයෙන් පිටව යෑම සඳහා ලබාගෙන තිබේ. අනතුරුව ඔහු පාලන අංශයට ගොස් රාත්‍රී රාජකාරි සඳහා යෙදවීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරියට බැණවැදී ටී-56 ගිනිඅවිය ඇය වෙත එල්ල කර වෙඩි තැබීමට සූදානම් වී ඇත. එහිදී එම අංශයේ සේවයේ නිරත සෙසු නිලධාරින් මැදට පැන ගිනිඅවිය අල්ලාගෙන වෙඩි තැබීමට නොහැකි වන ලෙස කටයුතු කිරීම හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරියගේ ජීවිතය රැකී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම නිලධාරියා විසින් කළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට ද මන්නාරම සහකාර පොලිස් අධිකාරිවරයා පියවර ගෙන ඇත.