බටුවන්ගල ශ්‍රී ධර්මාලෝක පිරිවෙන් අධිපතිව වැඩ විසූ ශ්‍යාමෝපාලි මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ ගාලු මාතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම වාගීශ්වර විමලානන්දාභිධාන මාවනානේ අමරවංශාභිධාන නාහිමියන් අපවත් වී දෙවසරක් සපිරීම නිමිත්තෙනි.
දකුණු ලක හිනිදුම් පත්තුවේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවනාන නම් වූ සුන්දර ගම් පියස වාසභූමිය කරගත් දාසිලිගේ සේනානායක දියෝනිස් මහත්මාට දාව දෝන කුසුමාවතී මාතාවගේ කුසින් 1952 අප්‍රේල් 23 දා නව දෙනකුගෙන් සමන්විත පවුලේ බාලයා ලෙස ජන්ම ලාභය ලැබූ පින්වත් කුමරුට මවුපියන් විසින් තබන ලද නාමය අමරදාස සේනානායක විය. මාවනාන රජයේ කනිෂ්ඨ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ කුඩා අමරදාස එකොළොස් හැවිරිදිව සිටියදී සංසාරගත කුසල් බලයට අනුව තම ජීවන ගමන් මඟ නව දිශානතියකට යොමු කරගත්තේ, වර්ෂ 1963ක් වූ දෙසැම්බර් 26 දින තවලම අශෝකාරාමාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදි මාපලගම විමලානන්ද මාහිමි, මාපලගම චන්දානන්ද මාහිමි සහ හිනිදුම ශාසනෝදයාරාමාධිපති උඩුගම සනාථ මාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් මාවනානේ අමරවංශ යන නාමයෙන් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූයේය.
අමරවංශ කුඩා සාමණේරයන් වහන්සේ ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය පිණිස නාකියාදෙණිය ශ්‍රී සරණපාල පරිවේණස්ථානයට ඇතුළත් කෙරුණු අතර, ඉනික්බිති ද්විතීයික අධ්‍යාපනය පිණිස ගාල්ල විද්‍යාලෝක මහ පිරිවෙනෙට බැඳුණහ. මෙලෙස උගත මනා බණ දහමින් සුපෝෂිත වූ උන් වහන්සේ 1974දී තවලම අශෝකාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදි මාපලගම විමලානන්ද මාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් මල්වතු පුෂ්පාරාම උපෝසථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූහ.
උපසම්පදාවෙන් පසුව තරුණ අමරවංශ හිමියෝ එවකට ජනප්‍රියව පැවති ජාතික සර්වෝදය ව්‍යාපාරයේ භික්ෂු බළකායට ඇතුළත්ව සැලකිය යුතු සමාජ මෙහෙවරක නිරත වූහ. වර්ෂ 1982දී උන් වහන්සේ වැඩි දුර අධ්‍යාපනය ලබනු පිණිස රත්මලානේ භික්ෂු ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව ප්‍රවීණාචාර්ය සහතික පත්‍ර සාමර්ථ්‍යය ලබා 1983 වර්ෂයේ සිට 1989 වර්ෂය දක්වා අකුරැස්ස අමලගොඩ ශ්‍රී විද්‍යානන්ද පිරුවනේ ගුරු සේවයට බැඳී පසුව එහි අධිපති ධුරයද දැරූ අතර, 1990 සිට 1993 දක්වා තවලම හබරකඩ ශ්‍රී විජයානන්ද පිරුවනෙහි අධිපති ධුරය දරමින් ප්‍රශස්ත සේවාවක් ඉටු කළහ.
මෙසේ කටයුතු කරන අතර උන් වහන්සේ තම විහාරස්ථානය වූ බටුවන්ගල පුරාණ විහාරයෙහි අභිනවයෙන් පිරිවෙනක් පිහිටුවීමට කටයුතු ආරම්භ කළහ. මේ නව පරිවේණස්ථානයෙහි ආරම්භක පරිවේණාධිපති ධුරය තම ගුරුදේව විශ්‍රාමලත් විදුහල්පති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදි මාපලගම විමලානන්ද නාහිමිපාණන් වහන්සේ විසින් ස්වේච්ඡාවෙන් භාරගෙන කටයුතු කිරීම අමරවංශ හිමිපාණන්ට මහත් අස්වැසිල්ලක් විය. මීට එරෙහිව පැමිණි බාධා සියල්ල මැඬලමින් සියල්ලන්ගේම සහාය නොඅඩුව ලබාගැනීමට අමරවංශ හිමිපාණෝ දක්ෂ වූහ. ඒ කාර්යයේදී උන් වහන්සේගේ පැවිදි සහෝදර අපවත් වී වදාළ ගෞරව ශාස්ත්‍රවේදි බටුවංගල සුමනරතන හිමියන්ගෙන්ද මහත් සහයක් හිමි විය.
අපගේ කථානායක මාහිමිපාණන් වහන්සේගේ ජාතික හා ආගමික සේවාව පිළිබඳ ප්‍රසාදයට පත් ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාව විසින් 2005දී උන් වහන්සේ සද්ධර්ම වාගීශ්වර කීර්ති ශ්‍රී විමලානන්දාභිධාන යන ගෞරව නාමය සහිතව ගාලු මාතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියද 2017දී විධායක කාරක සංඝ සභික ධුරය හා උපාධ්‍යාය ධුරයද පුදනු ලැබීය.
දශක හයක තරම් කාලයක් පැවිදි ජීවිතයේ ඉමහත් ශාසනික මෙහෙවරක නියැළුණු අප නාහිමියෝ වසරක තරම් කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසු වූහ. ජීවිත යථාර්ථය හඳුනාගෙන ඊට නොසැලී මුහුණ දුන් උන් වහන්සේ වර්ෂ 2022 වසරේ අද (1) වන් දිනක රාත්‍රියේ කරාපිටිය රෝහලේදී මනා සිහිනුවණින් යුක්තව අපවත් වී වදාළහ.
මාවනානේ අමරවංශ නාහිමිපාණන් වහන්සේට උතුම් වූ නිවන් සුව අත් වේවා!