Monday, April 21, 2025
Home » හරක් කටාගේ ගෝලයාගේ කෝටි 120ක කුඩු දැලේ

හරක් කටාගේ ගෝලයාගේ කෝටි 120ක කුඩු දැලේ

by mahesh
November 1, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස්. ගුණතිලක

ප්‍රබල පාතාල අපරාධකරුවකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස සැලකෙන හරක් කටාගේ ගෝලයකු වන ආමි චූටිගේ මත්කුඩු ජාලය ගැන යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් රුපියල් කෝටි 120කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය තොගයක් බොරලැස්ගමුවේදී සහ ඇඹිලිපිටිය කිරිඉබ්බන්ආරේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය බොරලැස්ගමුවේදී කළ වැටලීමකදී රුපියල් කෝටි 22ක් පමණ වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ධම්මික සමන් කුමාර (41) නමැති අයගෙන් කළ ප්‍රශ්න කිරීම් හා විමර්ශන ඔස්සේ කිරිඉබ්බන්ආරේ ඉඩමක වළ දමා සඟවා තිබුණු රුපියල් කෝටි 100ක් ඉක්මවන වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 40ක් පමණ සොයාගෙන ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

බොරලැස්ගමුවේදී කළ වැටලීමේදී හෙරොයින් කිලෝ 06 ග්‍රෑම් 910ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 17ක් සොයාගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් ලොරි රථයක් හා යතුරුපැදියක් ද අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය සමත් විය.

සැකකරුත් මත්ද්‍රව්‍ය තොගයත් වාහනත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත. මෙම වැටලීම පෙරේදා (30) සිදු කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ මඟපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශ iii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් බොරලැස්ගමුව පොලිස් වසමේ බොරලැස්ගමුව, 10 කණුව හන්දිය මාර්ග සංඥා කුලුන අසල ලංකා බේන් හවුස් සහ හෝටලය ඉදිරිපිට මාර්ගයේදී කළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව විශේෂ කාර්ය බළකා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සහ මත්කුඩු ජාලය සම්බන්ධයෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස කිරිඉබ්බන්ආරේ වැටලීම ඊයේ (31) සිදු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT