Sunday, April 20, 2025
Home » බුදුපිළිම සිද්ධිය පිටුපස සහරාන් සිටි බව කෑගල්ල ඩීඅයිජී දෙසැම්බර් 30 වෙද්දීත් දැනගෙන

බුදුපිළිම සිද්ධිය පිටුපස සහරාන් සිටි බව කෑගල්ල ඩීඅයිජී දෙසැම්බර් 30 වෙද්දීත් දැනගෙන

ගම්මන්පිලගේ චෝදනාවේ ඇත්ත කතාව-06

by mahesh
November 1, 2024 1:00 am 0 comment

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුව භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්ති රවී සෙ‍ෙනවිරත්නට එරෙහිව පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයට අදාළව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කළ සොයා බැලීම්වලදී අනාවරණය වූ කාරණා ගැන පළවන ලිපි පෙළේ පළමු කොටස් පහ මීට පෙර පළ විය. මේ එහි හය වැනි කොටසයි.

මාවනැල්ල බුදුපිළිම සිද්ධියේදී මූලිකව සහරාන් හෂීම් සම්බන්ධයෙන් කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන යටතේ සිටි කණ්ඩායමට අනාවරණය වුවද ඒ බවට අධිකරණයට කරුණු වාර්තා නොකිරීම ගැන පසුගිය ලිපියෙන් අනාවරණය කළෙමු.

නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ සිටින නිලධාරීන් සහරාන් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා හොඳින් දැන සිටියේය. ඔහු ඒ බව පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදීද පිළිගත්තේය. ඒ රජයේ නීතිඥ නිමේෂා ද අල්විස් මහත්මිය ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘අනාවරණය වීමක් වෙලා තිබුණා ස්වාමීනි. 2018 වර්ෂයේ දෙසැම්බර් මස කොට්ඨාස භාර නිලධාරී පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ මහතා විසින් මාගෙන් ඉල්ලීමක් කළා කණ්ඩායමක් සහරාන් නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ සිද්ධිය සම්බන්ධව කාත්තන්කුඩි ප්‍රදේශයට යැවීමට පොලිස් මූලස්ථානයෙන් අවසර ලබාදෙන ලෙසට. ඒ අනුව ඒ අවසරය මා විසින් පොලිස් මූලස්ථානය මාර්ගයෙන් ලබා දුන්නා.’

සිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ 2018 දෙසැම්බර් 30 වැනිදා හෝ 31 වැනිදා සහරාන් ගැන සොයා බැලීමට කණ්ඩායමක් පිටත්ව ගිය බවයි. එනම් පෙර කී පරිදි අසාද් සාලිගේ කතාව ඉස්මතු කරන කාලය වෙද්දීම සහරාන් මෙම බුදුපිළිම සිදුවීම පිටුපස සිටින බව සිරිවර්ධන මහතා ඇතුළු පිරිස දැන සිටියා. ඔහුගේ ද දැනුම්වත්කම මත පොලිස් පරීක්ෂක අමරපාල නිලධාරියා ඇතුළු පිරිසක් කාත්තන්කුඩි ප්‍රදේශයට ගොස් ලබාගත් ලිපියේ මෙසේ සඳහන් වේ. (සිංහල පරිවර්තනයකි)

‘පොලිස් පරීක්ෂක ඒ.ජී. අමරපාල යන අය විසින් විමසන ලද එම්.සී.එම්. සහරාන් යන අය මා සේවයට වාර්තා කළ දින සිට මගේ වසමේ පදිංචිව නැත. ඊට පෙර කාලවලදී මෙම ප්‍රදේශයේ පදිංචි වී සිටි බවට ඡන්ද නාම ලේඛනය අනුව දැන ගැනීමට හැකි වී ඇත.’

කරුණු එසේ තිබියදී බුදුපිළිම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස සහකාර පොලිස් අධිකාරී තෙන්නකෝන් මහතා ලබාදුන් නිර්දේශය සහිත වාර්තාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී චාමික වික්‍රමසේකර මහතා ජනවාරි 03 වැනිදා තම නිරීක්ෂණ සමඟ කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතාට යොමු කළේය. සහරාන් හෂීම් කාත්තන්කුඩි ප්‍රදේශයේ නැතැයි කෑගල්ල කොට්ඨාසයේ නිලධාරීන් කාත්තන්කුඩි ග්‍රාම නිලධාරීගෙන් ජනවාරි 05 වැනිදා ලිපියක් ලබාගන්නේ එවැනි පසුබිමකය.

පාලිත සිරිවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසමේ සාක්කි ලබා දෙමින් මෙසේ කීවේය.

‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම විමර්ශන සඳහා පොලිස් පරීක්ෂක මාරසිංහ ඇතුළු ඉතා සුළු නිලධාරී කණ්ඩායමක් තමා යොදවලා තිබුණේ. ඔවුන් එම විමර්ශනය භාර ගත්තාට පසු ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා මුළු දිවයින පුරාම ගමන් කිරීමට යෙදී තිබුණා. නමුත් අපි කෑගල්ල කොට්ඨාසයේ නිලධාරීන් වශයෙන් මෙම සිදුවීම මූලිකව ආරම්භ වුණේ කෑගල්ල කොට්ඨාසයේ බැවින් කෑගල්ල කොට්ඨාසය තුළ පමණක් අපේ පොලිස් වසම් තුළ අපේ නිලධාරීන් යොදවා මෙම සංවිධානාත්මක ත්‍රස්තවාදී කණ්ඩාය මේ කල්ලියේ තවදුරටත් ක්‍රියාකාරකම් සිදු වෙනවාදැයි විමර්ශනය කරා’

කෑගල්ලේ නිලධාරීන් කාත්තන්කුඩි ගොස් ලිපියක් ලබා ගැනීමෙන්ම පෙන්නුම් කරන්නේ පාලිත සිරිවර්ධන මහතා කොමිසමේදී අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වරද පැටවීමට උත්සාහ කර ඇති බවයි.

කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා විසින් ජනවාරි 03 වැනිදා එවන ලද වාර්තාව (විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීම ගැන) නියෝජ්‍ය පොලිස්පතිවරයා තම ඉහළ නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කරන්නේ ජනවාරි මස 07 වැනිදාය. එනම් දින හතරකට පසුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන බාර ගත් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ බුදුපිළිම සිද්ධිය ගැන විමර්ශන සිදුවූ බව කොමිසමේ දී අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවේදී දිගින් දිගටම සිරිවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන බාර ගත් පසු ප්‍රාදේශීය පොලිසිය විමර්ශන කරන්නේදැයි ප්‍රශ්න කරද්දී එසේ නොකරන බව සිරිවර්ධන මහතා පිළිගත්තේය. මෙම විමර්ශනය එම දෙපාර්තමේන්තුවට බාර දුන් පසු ප්‍රාදේශීය පොලිසියේ සහාය වීමක් ඉල්ලා සිටියේදැයි කළ විමසීමකදී සිරිවර්ධන මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේ එවැනි ඉල්ලීමක් නොකළ බවයි. කෙසේ වෙතත් නිලධාරීන් සාක්කි දෙමින් කියා සිටියේ සිරිවර්ධන මහතා දිගටම විමර්ශන කිරීමට උපදෙස් දුන් බවයි.

එසේම කොමිසමේදී අනාවරණය වූයේ දෙසැම්බර් 31 වැනිදා ඔහුගේ කාර්යාලයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට සහයෝගය දැක්වීමට පැමිණි නිලධාරීන් සහභාගී කර නොගත් බවයි. ඒ ගැන විමසීමේදී සිරිවර්ධන මහතා කොමිසමට ප්‍රකාශ කළේ සීඅයිඩිය කරන විමර්ශන ගැන තොරතුරු ඔවුන් සමඟ බෙදා නොගත් බව සහ එම විමර්ශනවලට ඔවුන් සම්බන්ධ කර නොගත් බවයි. ඒ ගැන කළකිරීමක් ඇතිවූ බව ද ඔහු කීවේය. කෙසේ වෙතත් සිරිවර්ධන මහතා මෙවැනි ප්‍රකාශයක් කරනුයේ කොට්ඨාසයේ අනිත් නිලධාරීන් සීඅයිඩිය සමඟ සහයෝගයෙන් විමර්ශන කරගෙන ගිය පසුබිමකය.

බුදුපිළිම සිද්ධියේ සැකකරුවන් සිටි ස්ථානය අසාද් සාලි මහතා දැන සිටි බව පාලිත සිරිවර්ධන මහතා පාස්කු කොමිෂන් සභාවේදී කීවේය. ඒ බව දැනගෙනත් සිරිවර්ධන මහතා ඔවුන් සිටින ස්ථානය ගැන අසාද් සාලි මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස තමන් යටතේ සිටින නිලධාරීන්ට දැනුම්දී තිබුණේ නැත. ඒ ගැන විමසූ විට සිරිවර්ධන මහතා කොමිසමට ප්‍රකාශ කළේ අසාද් සාලි මහතාට එවකට ජනාධිපතිවරයා සමඟ සබඳකම් පැවැති නිසා එලෙස නොකළ බවයි.

එසේ තිබියදී ශානි අබේසේකරට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා ඇතුළු පිරිස් කළ තවත් එක් චෝදනාවක් වූයේ මෙම විමර්ශනයට අදාළව ජාත්‍යන්තර පොලිසියේ සහයෝගය ලබා ගැනීමට අදාළව ලිපියක් යොමු කර තිබියදී එම ලිපිය යොමු කර මාසයකට පසු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ලිපියක් එවූ බවයි.

මතු සම්බන්ධයි.

තරිඳු ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT