Monday, April 21, 2025
Home » ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරු කොටුවෙයි

ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරු කොටුවෙයි

by chanaka
November 1, 2024 2:54 pm 0 comment

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කනත්ත ඉදිරිපිට ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් මස 16 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත ඉදිරිපිට දී ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

ඉන් අනතුරුව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කළේය.

ඒ අනුව මෙම වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි කාර් රථයේ රියදුරුව සිටි වයස අවුරුදු 35ක්වූ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලීස් ස්ථානය මඟින් ඔක්තෝබර් මස 28 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැඩිදුරටත් විමර්ශනය සිදුකර වෙඩිතැබීම සිදුකරන ලද බවට සැකකරන පුද්ගලයා ඊයේ (31) සවස වත්තල ප්‍රදේශයේදී ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථන දෙකක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන හැඳල, වත්තල ප්‍රදේශයේ පදිවිකරුවෙකි.

සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරු විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවටත් එම පුද්ගලයාගේ මෙහෙයවීම මත මෙම අපරාධය සිදුකර ඇති බවටත් අනාවරණය වී ඇත.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT