අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (01) ඉදිරිපත්වීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවා අමතර ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩුව කැඳවා තිබූ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ, නඩුව කැඳවූ ඉකුත් 23 වනදා මෙම විත්තිකරු අධිකරණයට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීම සඳහා ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු කෙරෙහි සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා ඔහුට අමතර ඇපයක් නියම කරන බව නියෝග කරනු ලැබීය.
ඒ අනුව ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා ඇප තැන්පත් කිරීමෙන් පසුව විත්තිකරු මුදාහරින ලෙසත් නියෝග කළ බව සඳහන්වේ.
ඉන් අනතුරුව නඩුවේ විභාගය ජනවාරි මස 27 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කර තිබේ.
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.