Monday, April 21, 2025
Home » සිංහබාහු එනකම් මම මඟ බලාගෙන හිටියා

සිංහබාහු එනකම් මම මඟ බලාගෙන හිටියා

හොඳම රංග වස්ත්‍රාභරණ‍යට බයෙල්සා ජාත්‍යන්තර සම්මානය ලැබූ රමේෂා ඕෂිනී

by mahesh
November 1, 2024 1:00 am 0 comment

ශ්‍යාමා සමරසිංහ ඡායා­රූපය - නිශ්ශංක විජේ­රත්න

ඇය විලාසිතා නිර්මාණ ශිල්පිනියකි. එසේම ඈ සිනමාවේ, රංග වස්ත්‍රාභරණ නිර්මාණ කාර්යයෙහිලා ද නියැළී සිටින්නීය. සිංහබාහු සිනමාපටයට රංග වස්ත්‍රාභරණයෙන් නිර්මාණ දායකත්වය සැපයීම වෙනුවෙන් පසුගියදා ජාත්‍යන්තර සම්මානයට ඕ පාත්‍ර වූවාය. එබැවින් මේ සාකච්ඡා සටහන වෙන් වෙනුයේ ඒ වෙනුවෙනි.

ඔබ රංග වස්ත්‍රාභරණ නිර්මාණ කාර්යයට ප්‍රවිෂ්ට වූයේ කෙසේද ?

මගේ ගම කළුතර අගලවත්තේ. මම ඉස්කෝලේ ගියේ අගලවත්ත මිහිඳු මධ්‍ය මහා විද්‍යාලයට. උසස් පෙළ කරන්න හොරණ ශ්‍රීපාලියට ගියා. උසස් පෙළ හැදෑරුවේ චිත්‍ර විෂයය. උසස් පෙළ සමත් වෙලා මම කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. 2015 වර්ෂයේදී මම විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වුණා. මේ කාලෙදිම ශ්‍රී ලංකාවේ මෝස්තර නිරූපණ ශිල්පීන්ගේ තරගයක් පැවැත්වුණා. cats awards කියලා. මම ඒකට සහභාගි වුණා. මේ තරගයට බොහෝ අත්දැකීම් තියෙන අයයි ඉදිරිපත් වෙලා හිටියේ. අංශ දහයක් යටතේ තරග කළා. bridal, sports, office, casual යනාදී වශයෙන් ඒ අංශ වෙන් වුණා. මං මේ හැම එකකටම මගේ නිර්මාණ ඉදිරිපත් කළා. කොහොම හරි අන්තිමේදී මේ තරගාවලියේම ජයග්‍රාහකයා වුණේ මමයි. මේක තමා මම නිර්මාණ ක්ෂේත්‍රයෙන් එළියට ආපු, මගේ හැරවුම් ලක්ෂය වුණේ. ඒ වගේම මේක මට හරි උත්තේජනයක් වුණා. ඒ කාලේ මට සල්ලි තිබුණෙත් නෑ. මගේ පවුලේ අයත්, මගේ මහත්තයාගේ පවුලේ අයත් මට උදව් කළා. ඒ අය නැත්නම් මම ඒ තරගයට ඉදිරිපත් වෙන්නෙත් නෑ. අද මෙතනත් නෑ.

ඔබ නිර්මාණ දායකත්වය සැපයූ පළමු කලා නිර්මාණ කාර්යය ගැන කතා කරමු. ?

මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර වුණාට පස්සේ කොළඹට වෙලා වසරක් පමණ පොඩි පොඩි වැඩ කරමින් කාලය ගත කළා. 2018 අවුරුද්දෙදී සනත් අබේසේකර මහත්මයා Òඉරු දේවÓ ටෙලි නාට්‍යයේ රංග වස්ත්‍රාභරණ කාර්යයට මාව සම්බන්ධ කර ගත්තා. රොෂාන් විල්ලප්පුලි මහතාත් මතක් කළ යුතුයි. මෙය දැවැන්ත නිෂ්පාදනයක්. අලුත් කෙනෙක් විදිහට මට ඉඩ හසර ලබාදීම පිළිබඳව මම ඒ අයට ස්තුතිවන්ත වෙනවා. ÒඉරුදේවÓ 2018 විකාශනය වුණා.

ඔබ රංග වස්ත්‍ර වස්ත්‍රාභරණ නිර්මාණයෙන් දායක වූ පළමු සිනමා නිර්මාණය ගැනත් කතා කරමු ?

ඒ තමයි ගුත්තිල. සනත් අබේසේකරයන් සමඟ ÒගුරුදේවÓ ටෙලි නාට්‍යයේ වැඩ කරලා ලබපු අද්දැකීම් එක්ක ඔහු මා කෙරෙහි විශ්වාසය තබන්න ඇති. මම පළමුවෙන්ම කළේ පිටපතට අනුව චරිත ටික වෙන් කරගත්ත එකයි. ඊට පස්සේ අපි කතා කරලා, අඩු පාඩු ඇතුළු දේවල් එකතු කළා. අඩු කළා. වැඩි කළා. මේක තමයි මම කළ ලොකුම නිර්මාණ කාර්යය. මාස හයක් පමණ මේ කාර්යයට කැප වුණා. පූර්ව නිෂ්පාදන කාර්යයත් මාස හයක් විතර සිදු කළා. ගුත්තිල ලොකු තිරයෙන් දකිනකොට මගේ පොඩි පොඩි අඩු පාඩු දැක්කා. මම ඒවා වටහා ගත්තා. ඒ වගේම ඊළඟ නිර්මාණ‍ෙයදී ඒ අඩුපාඩු හදාගන්න ඕන බවත් අවබෝධ කර ගත්තා.

ඔබ සිංහබාහු නිර්මාණ කාර්යයට අත ගහන්නේ කොහොමද ?

සෝමරත්න දිසානායකයන් විසින් සිංහබාහු රංග වස්ත්‍රාභරණ නිර්මාණ කාර්යය වෙනුවෙන් මාව තෝරා ගත්තේ, ගුත්තිල බලලා නෙවෙයි. එයා හොයලා තියෙනවා, මේ වගේ වැඩ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නේ කවුද කියලා. මහේෂ් ජයවර්ධන කියන්නේ මගේ මිත්‍රයෙක්. ඒවගේම කලා අධ්‍යක්ෂ ජානක ප්‍රසාද් මං ගැන කියලා තිබිලා. ඒ අනුව සෝමරත්න දිසානායකයන් දවසක් මන් කරපු වැඩ බලන්න ආවා. මගේ වැඩ දැකලා එයා සතුටු වුණා. ඒ අනුව සිංහබාහු වෙනුවෙන් මේ වැඩේ කරමු කියලා යෝජනා කළා. මට තිර පිටපතක් දුන්නා.

චරිත ගැන කිව්වා. ඒ අනුව මම චරිත සහ නළු නිළියන්ගේ ස්වරූපයට ගැළපෙන ආකාරයට රංග වස්ත්‍රාභරණ නිර්මාණය කළා. ජැක්සන් ඇන්තනි මහත්මයා මට ඉතිහාසය ගැනත්, සිංහයා ගැනත් බොහෝ දේවල් කියා දුන්නා. දර්ශන තලය තිබුණේ කැලෑව ඇතුළේ. අපට කිසිම අපහසුතාවක් නොවන්න අවශ්‍ය සියලුම දේවල් සපයලා දුන්නා. ඒ වගේම අකිල, සජිත, දුශේනි, අභිලාෂි සහ යශෝධා ලොකු සහයෝගයක් දුන්නා. මේ ඇඳුම් පැලඳුම් ඇඳගෙන ඉන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. දාඩිය දානවා. අපහසුයි. අපි හතර දෙනෙක් නිදි වරාගෙන වැඩ කළා. ඒ වගේම කැපවීමෙනුත් වැඩ කළා. මේ වගේ දැවැන්ත නිර්මාණයකට අත ගහන එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි, මං වගේ ආධුනික කෙනෙකුට. ඒ ගැන පොඩි චකිතයක් මට තිබුණා. වැඩ කරගෙන යද්දී ඒ අය මගේ වැඩ අගය කළා. ලොකු සහයෝගයක් ලබා දුන්නා.

සිංහබාහු පුළුල් තිරයේදී දකිනකොට සිතුණේ මොනවාද ?

සිංහබාහු එනකම් මඟ බලාගෙන හිටියා. හරිම සතුටුයි. ඉතා කුඩාම අංශු පවා පුළුල් තිරයේ දකිනකොට හොඳ වැටහීමක් ආවා. නමුත් සිංහබාහු එළියට ආවට පස්සේ, සමාජ මාධ්‍යයේ, සිංහයා මොඩර්න් කළා කියලා ප්‍රචාර ගියා. ඒ ප්‍රචාර අරන් ගියේ පුළුල් තිරයේ බලලා නෙවෙයි. කොහොම වුණත් අවංකවම, බොහොම කැපවීමෙන් කළ ඒ නිර්මාණය ගැන හරි සතුටක් තියෙනවා.

පසුගියදා සිංහබාහු ජාත්‍යන්තර ඇගයීමකට ලක්වුණා නේද ?

මේ ටික කාලයට සිංහබාහුට සම්මාන ගොඩක් ලැබිලා තියෙනවා. ඔක්තෝබර් 19 වැනිදා නයිජීරියාවේ පැවැති 4වන බයෙල්සා ජාත්‍යන්තර සම්මාන උලෙළේදී සිංහබාහුට තවත් සම්මාන 4ක් ලැබුණා. හොඳම තිර රචනය සෝමරත්න දිසානායක, හොඳම කැමරා අධ්‍යක්ෂණය විශ්වා බාලසූරිය, හොඳම සහාය නළුවා අඛිල ධනුද්ධර, හොඳම රංග වස්ත්‍රාභරණ වෙනුවෙන් රමේෂා ඕෂිනී වන මමත් ඇගයීමට ලක්වුණා. ශ්‍රී ලංකාවේ රංග වස්ත්‍රාභරණ වෙනුවෙන් සම්මාන ලැබිලා තියෙන්නේ හරි අඩුවෙන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තාවකට රංග වස්ත්‍රාභරණ වෙනුවෙන් ජාත්‍යන්තර ඇගයීමකට ලක්වුණු පළමු අවස්ථාව මෙයයි.

රංග වස්ත්‍රාභරණ නිර්මාණයෙන් කාන්තාවක් ඉදිරියට එහෙම ගැන ඔබේ අදහස කුමක්ද ?

රංග වස්ත්‍රාභරණ පමණක් නොවෙයි, ඕනෑම විෂයක් ඉගෙන ගන්නකොට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. මම ඉගෙන ගත්තේ විලාසිතා නිර්මාණය විෂයයි. අපේ ගෙවල්වලින් බලන්නේ සම්ප්‍රදායික කාන්තාවක් නිර්මාණය කරන්නයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ගුරු වෘත්තිය කරන්න කියලයි බොහෝ මව්පියන් කියන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ගෑනු ළමයි මේ අභියෝගය භාර ගන්න බයයි. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී වුණත්, විෂයයන් තෝරා ගැනීමේදීත් කුමන පැත්තට යනවද කියන එක ගැන හරි වැටහීමක් අවබෝධයක් නෑ.

ඔබේ වෘත්තිය සිනමා රංග වස්ත්‍රාභරණ නිර්මාණයද ? නැත්නම් මෝස්තර නිර්මාණය ද ?

මම සිනමාවටම කොටු වෙන්න කැමති නෑ. විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයේ යොමු වීමටයි මම වඩාත් කැමති. ඒ අතරින් සිනමාවේ රංග වස්ත්‍රාභරණ නිර්මාණයටත් කැමතියි. සම්මාන ලැබීමත් එක්ක ඒ කැමැත්ත තවත් වැඩි වුණා.

ඔබේ ඉදිරි නිර්මාණ කාර්යයන් මොනවාද ?

මේ වෙනකොට සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කෙරෙනවා. මම මේ ක්ෂේත්‍රයට තවමත් නවකයි. මගේ වැඩවලදී මට උදව් කරන්නේ මගේ පවුලේ අයයි. මගේ සාර්ථකත්වයේ පිටුපස ඉන්නේ මගේ ස්වාමිපුරුෂයා මහේෂ් විජයංග. මම ඕනෑම ලොකු වැඩකට අත ගහන්නේත්, බය නැතුව ඉදිරිපත් වෙන්නේත් එයා නිසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT