ලෝකය තල්ලුවෙමින් පවතින්නේ අතිශය භයානක ඉරණමක් වෙත යැයි කිව හැකිය. ඒ ගැන අනාවැකි පළ කිරීම දුෂ්කරය. එහෙත් ඊට බලපාන ආසන්න සාධක පෙන්වා දිය හැකිය. ඒ ගැන සංවාද කළ හැකිය. ඊශ්‍රායලය හිතුවක්කාරී පිළිවෙතක් අනුගමනය කරමින් හතර වටේටම මාරාන්තික ප්‍රහාර එල්ල කරන්නට පටන්ගෙන තිබේ. අගමැති තෙන්නයාහු හා ඔහුගේ යුද කැබිනට්ටුව අමෙරිකාවේ උපදේශන පවා ප්‍රතික්ෂේප කරන ස්ථාවරයක හිටගෙන සිටී. ගාසා තීරයට, බටහිර ඉවුරට හා ලෙබනනයේ දකුණටත් මේ වන විට දරුණු ප්‍රහාර එල්ලවෙමින් පවතී. ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර වඩාත් බලවත්ය. පාසල්වලට, රෝහල්වලට, කූඩාරම්වලට එම ප්‍රහාර එල්ල වෙයි. වැඩියෙන්ම මිය යන්නේ දරුවන්ය. ගාසා තීරයේ ලක්ෂ පහළොවකට ආසන්න පිරිසක් අනාථයෝ වෙති.
ඔව්හු තාවකාලික කූඩාරම්වල බියෙන් හා සැකෙයෙන් යුතුව රැය පහන් කරති. ඒ අතර එක්සත් ජාතීන්ගේ ආධාර කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයට තහංචි පනවා ඇත. කුසගින්න හා වේදනාව ගාසා තීරය පුරා පැතිර යයි.
මැද පෙරදිග ගැටුමට මෙන්ම රුසියන් – යුක්රේන යුද්ධයට ද තීරණාත්මක බලපෑමක් ලෙස පවතින අමෙරිකන් ජනාධිපතිවරණය තව දින කිහිපයකින් පැවැත්වේ. ට්‍රම්ප්ගේ හා කමලාගේ ඡන්ද සටන ඉතා උණුසුම්ය. කවුරුන් බලයට පත්වුවද අමෙරිකන් ප්‍රතිපත්තිවල බලවත් වෙනසක් ඇති වේ යැයි කිව නොහැකිය. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේනය හෝ ඊශ්‍රායලයට හෝ පක්ෂපාතී ලෙස ක්‍රියා කරන්නේ නැති බවට සහතිකයක් ලබා දී ඇත. ඔහු අමෙරිකාවේ යුද ආධාර රටේ ආර්ථිකයට අනවශ්‍ය බරක් බව ද ලෝක යුද්ධයකට අත වැනීමක් බව ද කියා ඇත. කමලා හැරිස්ගේ මතය වන්නේ ඊශ්‍රායලය තම ආරක්ෂාව වෙනුවෙන් සටන් කිරීම යුක්ති සහගත වන බව හා ඊට සහයෝගය දැක්වීම අමෙරිකාවේ වගකීමක් බවය. දෙපැත්තේ ඇති වෙනස ඉන් වටහාගත හැකිය.
මේ අතර ලෝකය මවිතයට පත්කරමින් දේශගුණික විපර්යාස සිදු වන්නට පටන්ගෙන තිබේ. ස්පාඤ්ඤයට බලපා ඇති ගංවතුර සුනාමිය මීට නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. වැලන්සි නගරයේ වීථි දිගේ විශාල ජල ධාරා වේගයෙන් ගලාගිය අතර රථවාහන එක උඩ – එක නැඟෙමින් ජලයේ ගසාගෙන ගියේය. සහරා කාන්තාරයටද ධාරානිපාත වැසි ඇද හැලිණි. තව පැත්තකින් උණුසුම අධික වෙයි. තාපය ඉහළම මට්ටමක පවතින ප්‍රදේශවල මරණ වාර්තා වී ඇත. වගාවන් විශාල ලෙස විනාශ වීමත්, ජල හිඟයක් කාලගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස පවතී. මේ තත්ත්වය යටතේ වසංගත රෝග පැතිරීම ද ආරම්භ වී ඇත. දූපත් රාජ්‍යයන් සාගරයේ ගිලෙන්නට ඉඩ තිබීම තවත් භයානක තත්ත්වයකි. අපේ අසල්වැසි මාලදිවයිනත් එම අනතුරට මුහුණ දෙයි.
මේ වන විට ජනමත සමීක්ෂණවලින් හෙළිදරව් වන්නේ කමලා හැරිස්ට 48%ක් හා ඩොනල්ඩ් ට්‍රම්ප්ට 47%ක් මනාපය පළවීමට නියමිත බවය. එහෙත් අවසන් දින කිහිපය තුළ එය වෙනස් වන්නට පුළුවන. තිරණාත්මක ප්‍රාන්තවල, පාවෙන ඡන්ද ඒ සඳහා බලපෑම් කරනු ඇත. අමෙරිකන් ජනතාවගෙන් බහුතරය මැතිවරණ ගැන ඒ හැටි උනන්දුවක් නැත. එහෙත් මෙවර එම තත්ත්වය ටිකෙන් – ටික වෙනස් වන්නට පටන්ගෙන තිබේ. අමෙරිකන් පුරවැසියන් කෙමෙන් ඡන්ද පොළ වෙත සමීප වන බවක් පෙනෙන්නට ඇත. විශේෂයෙන් තරුණ පරම්පරාව ඒ ගැන උනන්දු බව දැකගත හැකිය. ඊළඟ ඡන්ද උනන්දුව ඇත්තේ කාන්තා පාර්ශ්වයට ය. කුමක් වුව අමෙරිකාවේ මෙවර ජනාධිපතිවරණය වෙනස්කම් රැසක් ඇති කරනු ලබතැ‘යි විශ්වාස කළ හැකිය.
මේ සියල්ලෙහි තීරණාත්මක සාධකය වන්නේ අමෙරිකාවේ ඡන්ද දායකයා යැයි කිව හැකිය. “හව් වී වෝට්” නමින් කෘතියක් සම්පාදනය කරන ඉන්දියාවේ මහාචාර්ය සුජිත් බාලා පෙන්වා දෙන අන්දමට ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වැදගත්ම ලක්ෂණය වන්නේ තෝරාගැනීමට නිදහස තිබීමය. එම නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ අවස්ථාව අමෙරිකන් ඡන්දදායකයාට ඇත.
ලොව වැඩිම අවධානයක් සහිත මැතිවරණය ලෙසින් සැලැකිය හැකි අමෙරිකන් ජනාධිපතිවරණයට තවත් දින කිහිපයක් ඉතිරිව පවතී. එම දින කිහිපය තීරණාත්මක බවද, අදාළ කෙටි කාලය තුළ දැකගත හැකි විශේෂ සිදුවීම් අනුව බලය පිළිබඳ සාධක වෙනස් විය හැකි බවද මැතිවරණ විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. මේ වන විට දකින්නට ලැබෙන්නේ කරට – කර මැතිවරණ සටනකි. අමෙරිකන් ජනතාවගේ ඡන්ද උණුසුම හා නැඹුරුව කෙමෙන් උත්සන්න වී ඇති බවකි. ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා හා වත්මන් උප ජනාධිපතිනි කමලා හැරිස් අතර ද්වන්ධ සටනක් ලෙස ද එය හැඳින්විය හැකිය. මේ දිනවල දිග හැරෙන්නේ ජනාධිපතිවරණ තරගයේ අවසන් ජවනිකා පෙළ බව ද සිහිපත් කළ යුතුය.
ගෝලීය ආර්ථිකයේ දිශානතිය, ලෝක සාමය, එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරීත්වය, දේශගුණික විපර්යාස පිළිබඳ තීන්දු – තීරණ ආදිය සම්බන්ධයෙන් වැඩිම බලපෑමක් කළ හැකි රාජ්‍යය ලෙස අමෙරිකා එක්සත් ජනපදය සැලැකිය හැකිය. මැද පෙරදිග ගැටුම මෙන්ම රුසියන් යුක්රේනය ද යුද්ධය නැවැත්විය හැකි බලපෑම කළ හැක්කේ අමෙරිකාවට බව ලෝක නායකයෝ දනිති. ඒ අනුව අනාගත ලෝකය පිළිබඳ නිර්ණය කරනු ලබන ප්‍රධාන බලවේගය අමෙරිකන් නායකත්වය වනු ඇත. මේ වන විට සමස්ත ලෝකය කම්පනයට පත් කරනු ලබන සිදුවීම් කිහිපයක් පවතී.
(I) මැද පෙරදිග අරාබි ඊශ්‍රායල් යුද්ධය හා මානුෂීය ඛේදවාචකය
(II) රුසියන් – යුක්රේන යුද්ධය හා න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානම
(III) බලශක්ති අර්බුදය, ස්වාභාවික විපත් හා දුප්පත් රටවල ණය අර්බුදය
(IV) දරිද්‍රතාවයේ ලෝක ව්‍යාප්තිය ආහාර අර්බුදය හා දරුවන්ගේ මන්දපෝෂණය
(V) එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත බලගැන්වීම හෝ නව ජගත් සංවිධානයක් බිහිකිරීම.
මැද පෙරදිග යුද්ධය හා රුසියන් – යුක්රේන යුද්ධය පවතින්නේ අමෙරිකාවේ යුද ආධාර හා ආර්ථික ආධාර නිසා බව පැහැදිලි කාරණයකි. ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටින අමෙරිකාව ඊශ්‍රායලයට ලබාදෙන ආධාර හා ණය වැඩි කර ඇති අතර ජෝ බයිඩ්න්ගේ මතය වී ඇත්තේ ඊශ්‍රායලය සිය ආරක්ෂාව වෙනුවෙන් ත්‍රස්තවාදීන්ට පහරදීම යුක්තිසහගත බව හා ඊට සහයෝගය දැක්වීම අමෙරිකාවේ වගකීමක් බවය. මේ අතර යුක්රේන නායකයා සිය ජයග්‍රාහී යුද සැලැසුම අමෙරිකාවට ඉදිරිපත් කර ඇත්තේ අමෙරිකන් සහයෝගය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහාය. අමෙරිකාව, යුරෝපා සංගමය හා නේටෝ සංවිධානය මෙහිදී යුක්රේනයට සහයෝගය ලබාදෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.
රුසියානු – යුක්රේන යුද්ධයෙහි අතිශය භයානකපැත්ත වන්නේ එය න්‍යෂ්ටික යුද්ධයක් කරා තල්ලුවීමට ඇති ඉඩකඩ නිසාය. රුසියානු නායකයා මේ වනවිටත් අනතුරු අඟවා ඇත්තේ තම රටේ ආරක්ෂාව සඳහා න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ අවකාශයක් තම රටට ඇති බවය. එබඳු සූදානමක් ඇති බව ද විවිධ සිදුවීම්වලින් හෙළිදරව් වී ඇත. උතුරු කොරියාව, චීනය, ඉරානය වැනි රටවල් ද මෙහිදී රුසියාවට සහයෝගය ලබා දෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඒ සෑම රාජ්‍යයක්ම න්‍යෂ්ටික බලය සහිත රාජ්‍යයන් බව සිහිපත් කළ යුතුය. මේ පසුබිම මුළුමහත් ලෝකයටම අන්තරායකර බව විශේෂඥයන්ගේ පුරෝකථනවලින් පෙනී යයි.
ලොව ස්වාභාවික විපත්වල බරපතළකම වර්ධනය වී ඇත. ගංවතුර, නාය යෑම්, අධික වර්ෂාව, උෂ්ණාධික බව එකිනෙක කලාපවල ජන ජීවිතය අඩාළ කර තිබේ. පොදුවේ ගත්කල දැවැන්ත මිනිස් ක්‍රියාකාරකම් නිසා සමස්ත ලෝකයේම ජීවිත අවදානමකට ලක් වී ඇත. එහෙත් බලවත් රාජ්‍යයන් පරිසර විනාශයේ දැවැන්ත ක්‍රියාකාරකම්වලට තිත තබන බවක් පෙනෙන්නට නැත. ලොව ආර්ථික බලවතා වන අමෙරිකාව ඒ අතර ප්‍රමුඛ තැන ගනී.
ඉහත ගැටලුවලට විසැඳුම සෙවීම, යෝජනා කිරීම, තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීම යන අර්බුදකාරී අවස්ථාවන්ට සාමූහිකව පිළිතුරු සෙවීමේ ආයතනය ලෙසින් පවතින එක්සත් ජාතීන්ගේ සංගමයේ බලය බිඳී ඇත. බලවත් රටවල් එම සංගමයේ තීන්දු – තීරණ මායිම් කරන්නේ නැත. ඒ අතර ප්‍රමුඛයා වන්නේ අමෙරිකාවය. අමෙරිකාවේ හයිය ඇඟට ගෙන සිටින ඊශ්‍රායල් නායකයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට සිය භූමිය තහනම් කර ඇත. මහලේකම්වරයාගේ කිසිදු නියෝගයක් – නිවේදනයක් නෙතන්යාහු අගමැතිවරයා පිළිගන්නේ නැත. අමෙරිකාව මේ සියලු අර්බුදවලට යම් පමණකින් වගකිව යුතුය.
මේ වන විට ජනාධිපතිවරණය අවසන් දින කිහිපයට ළඟා වී ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හා කමලා හැරිස්ගේ තරගය ද උපරිම තත්ත්වයකට ළඟා වී ඇත. කමලා හැරිස් ජනාධිපති තරගයට ඉදිරිපත් වීමත් සමඟ ඩිමොක්‍රටික් පාර්ශ්වයේ උනන්දුව එකවර ඉහළ ගියේය. එමෙන්ම රිපබ්ලිකන් පාර්ශ්වයේ ට්‍රම්ප්ගේ සටන අලුත් මුහුණුවරක් ගෙන ඇත. මේ දෙපාර්ශ්වයටම වැදගත් ඡන්ද කණ්ඩායම් ගණනාවක් තිබේ.
(I) අමෙරිකාවේ සාම්ප්‍රදායික සුදු ජාතිකයන්
(II) අප්‍රිකානු – අමෙරිකානු ජාතිකයන්
(III) අරාබි – අමෙරිකන් සමාජ කණ්ඩායම්
(IV) අමෙරිකාවේ තරුණ පරම්පරාව
(V) අමෙරිකන් කාන්තාවන්ගේ ඡන්ද හා කාන්තා ව්‍යාපාර
(VI) ආසියා – අමෙරිකා පවුල් හා ඔවුන්ගේ ඡන්ද
(VII) විදේශගතව සිටින අමෙරිකන් ඩයස් පෝරාව
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ ‘ශක්තිමත් අමෙරිකාවක් යළිත් ගොඩනගමු’ යන්නය. රටේ ආර්ථිකය, පොදු පහසුකම් නිවාස සංවර්ධනය, ආරක්ෂාව විශේෂයෙන් සලකා බලන ට්‍රම්ප් ලෝකයේ වෙනත් රටවල ගැටුම්වලට මැදිහත්වීම හා ඒ වෙනුවෙන් ආධාර කිරීම ජාතික අපරාධයක් සේ සලකයි. සරණාගතයන් සඳහා සහන දීමට ට්‍රම්ප් කැමැති නැත. මේ අනුව මැද පෙරදිග ගැටුම හා රුසියන් – යුක්රේන යුද්ධය ට්‍රම්ප්ගේ බලයට පත්වීමක් යටතේ විසඳෙනු ඇතැයි කියන පිරිසක් සිටිති.
කමලා හැරිස්ගේ සටන්පාඨය වී ඇත්තේ බහු සංස්කෘතික සමාජයක් ඔස්සේ අමෙරිකාව වඩාත් නිදහස් රාජ්‍යයක් බවට පත්කළ යුතු බවය. කාන්තාවට නිදහස සඳහා ගබ්සා නීතිය වෙනස් කිරීම, සරණාගතයන්ට සහන ලබාදීම කෙරෙහි ඇයගේ විශේෂාවධානය යොමුවී නැත. කමලා හැරිස් ඊශ්‍රායලයේ නිදහස, ආරක්ෂාව හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ද ත්‍රස්තවාදී ක්‍රියා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ද කියා සිටින්නීය.
මේ වනවිටත් බිලියනපතියන් ඡන්ද සටනට එකතුවී ඇත. කමලා හැරිස් මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද කෝටිපති ව්‍යාපාරිකයෝ වියදම් කරති. එය කොතරම් බලවත්ද යත්, ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් ප්‍රකට එලෝන් මස්ක්ට අමෙරිකන් අධිකරණය නඩු පැවරීමට යයි. ඔහුට එරෙහිව නැඟෙන චෝදනාව වන්නේ අමෙරිකන් ජනාධිපතිවරණයට බලපෑම් ඇති කිරීමය. ඔහු ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් දිනකට ඇ. ඩො. දසලක්ෂයක් වියදම් කරන බව සඳහන්ය.
මේ සියල්ලෙහි ප්‍රතිඵල තවත් දින කිහිපයකින් බලාගත හැකිය. නොවැම්බර් 05දා ඡන්දය පැවැත්වේ. මේ දිනවල අමෙරිකන් ජනාධිපතිවරයාගේ පූර්ව ඡන්ද විමසීම් පැවැත්වේ. ජෝ. බයිඩ්න් වත්මන් අමෙරිකන් ජනාධිපතිවරයා පූර්ව ඡන්ද ප්‍රකාශනය සඳහා සහභාගී වන ආකාරය අපට දැකගත හැකි විය. මේ දිනවල අපේක්ෂකයන් දෙදෙනාගේ විවාදයට මුල්වී ඇත්තේ ‘ගාර්බේජ්’ හෙවත් කුණු කසළය.