Monday, April 21, 2025
Home » නඩු බඩු භාරකාර තැන

නඩු බඩු භාරකාර තැන

by mahesh
November 1, 2024 1:00 am 0 comment

ඇතිවී තිබෙන තත්ත්වය මත අධිකරණයේ නඩු භාණ්ඩ වෙනම ගබඩා නොකර, පාර අයිනේ තබා යන්නේ නම් යෙහෙකි බව අද මේ තීරුව ආරම්භයේදීම යෝජනා කරන්නේය. අධිකරණය සඳහා යම් නඩු නිමිත්තක් සමඟ ඒ සඳහා මුලපුරන ලද භාණ්ඩ පැමිණේ නම් ඒවා නඩුව විභාග වන තුරු විත්තියේ හෝ පැමිණිල්ලේ අයිතිය යටතේ තබා ගත නොහැකිය. මේ හේතුවෙන් ඒ සඳහා වෙන්වූ නඩු භාණ්ඩ ගබඩාවක් අධිකරණය පවත්වාගෙන යන්නේය.

යම් නඩුවක් සඳහා නඩු භාණ්ඩ ලෙස අධිකරණය භාරයට ගත් යම් දේපළක් සම්බන්ධයෙන් නීති පොතේ පැහැදිලිව සටහන් වී ඇත්තේය.

අපරාධ නඩුවකට සම්බන්ධව පොලිස් නිලධාරියෙක් භාණ්ඩයක් අත්අඩංගුවට ගත්විට ඒ සම්බන්ධව පළමුව මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දිය යුතුය. මේ ආකාරයෙන් දැනුම් දුන් කල්හි මහේස්ත්‍රාත්වරයා විසින්, දේපළෙහි සන්තකයට හිමිකම් ඇති තැනැත්තාට කොන්දේසි මත එය භාරදීමට නියම කරන්නේය. අයිතිකරු ඒ මොහොතේ නිශ්චය කර ගැනීමට නොහැක්කේ නම්, සුදුසු ආඥාවක් සිදු කිරීමේ බලය මහේස්ත්‍රාත් සතු වන්නේය.

භාණ්ඩයේ අයිතිය පිළිබඳව මෙම නිශ්චිතභාවය එක් විට හඳුනාගත නොහැකි අවස්ථා බොහෝය. දෙපැත්තෙන් ඉදිරිපත් කරන කරුණු අනුව ඒ සඳහා තීන්දුව ගැනීමට කාලයක් ගත වන්නේය. මෙම අවස්ථාවේදී නඩු භාණ්ඩය, අධිකරණය භාරයේ තැබිය යුතු වන්නේය. මෙම කාලය අවසන් වන තුරු දේපළ බැහැර කිරීම සිදු නොකරන අවස්ථා ද ඇත. එතෙක් එම භාණ්ඩය රඳවා තබන්නේ අධිකරණයට අයත් නඩු භාණ්ඩ ගබඩාවේය.

භාණ්ඩ සියල්ල ගබඩා වන්නේ, මේ කාමරය වටා හෙයින් මේ රටේ ලාභෙට බඩු රාශියක් ගත හැකි එකම ස්ථානය බවට දැන් පත්ව ඇත්තේ නඩු බඩු ගබඩාවය.

අසභ්‍ය පත පොත, ඡායාරූප, වීඩියෝ ආදිය, නුසුදුසු ආහාරපාන, ප්‍රමිතිගත නොවූ බෙහෙත් හේත්, මත්ද්‍රව්‍ය වැනි දේ මේ භාණ්ඩ අතරට අයත් වන්නේ නැත. නඩු තීන්දුවෙන් විත්තිකරු නිදහස් වුවද කසිප්පු බූලි යළි ඒ මහතා වෙත ලබා නොදෙන්නා සේ, සමහරක් භාණ්ඩ යළි සමාජගත කරන්නේ නැති හෙයින් ඒවා යන්නේ විනාශ කරන අංගණය වෙතය. ඒ හැරුණු කළ රඳවා ගත හැකි මට්ටමේ නඩු භාණ්ඩ සහ රස පරීක්ෂක වෙත සාම්පල් යවා තහවුරු කර ගත යුතු දෑ, රැස් කර තබන්නේ ද නඩු භාණ්ඩ ගබඩාවේය.

මේ නඩු භාණ්ඩ ගබඩාවේ තත්ත්වය කොයිතරම් ද යන්න සඳහා පැහැදිලි කිරීමක් ගිය වසරේ ඔක්තෝබර් මාසයේ උදාහරණයකින් ලබා දිය හැක්කේය.

නඩුවක් සඳහා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත නමගිය අපරාධකාරයෙක් පැමිණියේය. ඔහුගේ නම රන් මල්ලීය. හෙතෙම සිය නඩු කටයුත්ත අහවර හෙයින් ඇතුළේ පොඩි රවුමක් ගසන ලද්දේය. මේ දවස්වල හැමෝටම යම් අමාරු කාලයක් හෙයින් අපරාධකාරයා කියා නැත. ඒ මිනිසා වෙත ද අමාරුකම තදින් දැනුණේය. ගමන් වියදම් ආදිය ද දරාගෙන නඩුවක් සඳහා පැමිණීමට වැය බරක් දැරීමට සිද්ධ වන්නේය. මේ කාලය තුළ මර්සියක් දිය නොහැක්කේ බැවින්, එදා දවසේ ආදායමට ද තට්ටු වන්නේය. ඒ නිසා අධිකරණය ඇතුළෙන්ම යමක් කරගෙන යෑම හොඳ බවට ඔහු වෙත අදහසක් පැමිණියේය. නඩු භාණ්ඩ කාමරයෙන්, තොගයට බඩු පැන්නීම සිදු වෙන බව මේ ජාතියේ මනස් ඇති පුද්ගලයෝ දන්නාහ. ඒ නිසා වෙන තැන්වල කැරකෙනවාට වඩා, ආපු තැනින්ම කීයක් හෝ සොයාගෙන යා යුතු බව සිතු හේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස ගබඩා කර තිබූ තඹ කම්බි රෝල් කිහිපයක් මහ දවල් හාල් උරයක බහා ගත්තේය.

බන්ධනාගාර නිලධාරීහු සැකකරුවන් ගෙනයන අතරතුර මොහුද එකී බෑගය අතැතිව ඉදිරිපස ගේට්ටුවෙන් එළියට යෑමට උත්සාහ කරන ආකාරය දුටහ. ඒ හේතුවෙන් බඩු සමගම පුද්ගලයා කුදලාගෙන, කූඩුවට දමා ගැනීමට හැකි විය.

නඩු භාණ්ඩ ගබඩාව ඔය තරම් සිල්ලරට වැටී ඇත්තේය. පරණ යකඩ ආදිය එකතු කරන ලොරි ආදිය ද තව ටික දිනකින් ඇතුළටම ගාල් කර, ගබඩාවේ ඇති අඩුම කුඩුම පටවාගෙන යන තරමට දැන් තත්ත්වය සරලය.

නඩු භාණ්ඩ අතුරුදන්වීම මේ තීරුව අද මාතෘකාව කර ගන්නා ලද්දේ, කුලියාපිටිය අධිකරණයේ නිමිත්තක් හේතුවෙනි. කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ තඹ කිලෝග්‍රෑම් 192ක් අස්ථානගතව ඇතැයි ලද පැමිණිල්ලක් පිළිබඳව, ඊයේ දිනමිණ සිය පළමු පිටුවෙන් වාර්තා කළේය. නැති වී ඇත්තේ තඹ වළල්ලක් නොවන බව පාඨකයා වෙත මේ අතරේ මතක් කළ යුත්තේය. මේ ආකාරයේ තඹ ප්‍රමාණයක් ලොරියක් ගසා පැටවිය යුත්තේ මිස සාක්කුවේ දමාගෙන යා නොහැකිය. ඒ තරමට මෙම අධිකරණ භුමිය මුදා නොගත් කලාපයක් දැයි ප්‍රශ්නයකි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ කිලෝග්‍රෑම් අටක තඹ කම්බි තොගයක් සොරකම් කළ ‘රන් මල්ලී’ගේ වාර්තාව, කුලියාපිටියේදී බිඳ හෙළන ලද්දේ කොයි අයියා දැයි මේ තීරුව විමසනු රිසිය.

ඒ සඳහා පහසු පිළිතුරක් ඇත්තේය. ඔය සඳහා යෝග්‍ය ක්‍රමවේද මේ තීරුව යෝජනා නොකරන්නේ දැන් කාලයේ මානව හිමිකම් නීතිය බලවත් හෙයිනි.

රට පුරා ස්ථාන ගණනාවක නඩු භාණ්ඩ ගබඩා දිවා රාත්‍රියේ හැර තබන්නේ නම් අවුලක් නැත. එක්කෝ නඩු බඩු කාමරයේ තිබූ විස්කි තොගයක් ආ ගිය අතක් නැත. නැතහොත් අල්ලාගත් හෙරොයින් වෙනත් කුඩක් බවට මාරුවී ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 12ක් අතුරුදන් කර සාවද්‍ය පරිහරණය කළේ යන චෝදනාවට සී.අයි.ඩිය අත්අඩංගුවට ගත්තේ, නඩු භාණ්ඩ භාරකරුය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් සහිත විස්කි බෝතල් 1994ක් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගන්නා ලද්දේ ද නඩු භාණ්ඩ ගබඩා භාරකරුය.

මේ ආදර්ශ සහිතව නඩු බඩු කාමරයේ නැතිවෙන දෑ සෙවීම පිළිබඳ පරීක්ෂණ ඉදිරියට ගෙන යමු යන්න, මේ තීරුවේ යෝජනාව වන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT