Home » පොලිස් රාජකාරි ක්‍රියාකාරකම් වීඩියෝ කරන්න තහනමක් නෑ

පොලිස් රාජකාරි ක්‍රියාකාරකම් වීඩියෝ කරන්න තහනමක් නෑ

වැඩබලන පොලිස්පති

by mahesh
November 1, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

පොලිස් නිලධාරින්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නැති බව අවධාරණය කරමින් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ඉහළ සියලු තරාතිරමේ නිලධාරින් දැනුම්වත් කිරීමේ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පෙරේදා (30) නිකුත් කර ඇත.

පොලිස් නිලධාරියකු සිදු කරන විනය විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාවන් මහජනතාව විසින් වීඩියෝගත කිරීම මඟින් එම පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් විනයානුකූලව ක්‍රියා කිරීමට හැකියාව ලැබෙන අතර, එවැනි විනය විරෝධී සදාචාර විරෝධී ක්‍රියාකාරකම් නිවැරදි කර ගැනීමට ද එය අවස්ථාවක් වනු ඇති බව වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

එබැවින් පොලිස් නිලධාරින්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් මහජනතාව විසින් වීඩියෝගත කිරීම වැළැක්වීමට පියවර නොගත යුතු බව සෑම පොලිස් නිලධාරියකුම දැනුවත් කරන ලෙස ද පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.

පොලිස් නිලධාරින් විසින් සිදු කරන රාජකාරි මෙන්ම නිලධාරින්ගේ ක්‍රියාකාරකම්ද මහජනතාව විසින් වීඩියෝගත කරන අවස්ථා වර්තමානයේ බහුලව නිරීක්ෂණය වන බව ද එම නියෝගයේ වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.

මෙලෙස වීඩියෝගත කරන අවස්ථාවලදී ඇතැම් පොලිස් නිලධාරින් එම පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම්, වීඩියෝගත කරන දුරකතන ආදිය පොලිස් භාරයට ගැනීම් සහ ඇතැම් අවස්ථාවලදී එලෙස වීඩියෝගත කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් පවා සිදු කර ඇති බවට වාර්තා වන බව ද වැඩබලන පොලිස්පතිවරයා එහි සඳහන් කර ඇත.

යම් වරදක් වීඩියෝගත කරන ලද අවස්ථාවකදී එම සංස්කරණය නොකළ වීඩියෝ රෙකෝඩරය (ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩරය) සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතෙහි 4 වන වගන්තියට ඇතුළත්ව ඇති අතර, එම නෛතික ප්‍රතිපාදන අපරාධ හෝ සිවිල් නඩුවක පැමිණිලි පාර්ශ්වය මෙන්ම විත්ති පාර්ශ්වය විසින් ද ප්‍රයෝජනයට ගත හැකි බව වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

මේ දේවල් මෙසේ වූවත් පොලිස් නිලධාරින්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමෙන් අනතුරුව එම වීඩියෝපට සංස්කරණය කර ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජනතාව වෙත වෛරී හැඟීම් ඇතිවන ආකාරයෙන් එම සංස්කරණය කරන ලද වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා වෙත මුදාහැරීමක් සිදු වුවහොත් එවැනි තැනැත්තන් විෂයෙහි නෛතික පියවර ගැනීමට මෙම උපදෙස් බාධාවක් නොවන බව ද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT