Home » තානාපති සේවයට ගිය 16ක් කැඳවයි
ඇමැති හිතවත්කම් ඥාති සබඳතාවලට

තානාපති සේවයට ගිය 16ක් කැඳවයි

තවත් පිරිසක් ඉදිරියේදී කැඳවීමට සැලසුම්

by mahesh
November 1, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ඥාති හිතවත්කම් සහ දේශපාලන සබඳතා මත පසුගිය ආණ්ඩු සමයේදී විවිධ රටවලට තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ නිලධාරීන් 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට තීරණය කර තිබේ.

මේ වන විට ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර ඒ අනුව එම නිලධාරීන් යළි මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස, චීනයේ ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රනාන්දු, ඉන්දියාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මහත්වරු මෙලෙස මෙරටට කැඳවීමට නියමිත අය අතර වෙති. එමෙන්ම සවුදි අරාබියාවේ ජෙඩා හි කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ එස්.එම්.ඒ.එෆ් මවුලානා මහතා ද යළි කැඳවන ලැයිස්තුවේ වෙයි.

ඊට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඇමැති ලෙස සේවය කළ නිශාන් මනික් මුතුක්‍රිෂ්ණ සහ තෙවැනි ලේකම්වරයා වශයෙන් කටයුතු කළ තාරක දිසානායක මහත්වරුන් ද කැඳවීමට පියවර ගෙන තිබෙන අතර එක්සත් රාජධානියේ ලන්ඩන් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සෙනිය පුංචිනිලමේ මහතාට ද යළි මෙරටට පැමිණෙන ලෙස දන්වා ඇත.

ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කළ සහස්‍ර බණ්ඩාර මහතා ද ඉතාලියේ රෝම නුවර පිහිටි තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස සේවය කළ මෙල්කි චන්දිමා පෙරේරා මහත්මිය ද ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය වශයෙන් සේවය කළ දීනුකා කාර්මලීන් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද යළි කැඳවීමට පියවර ගෙන තිබේ.

මේ අතර රුසියාවේ මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස සේවය කළ පණ්ඩුල ද සොයිසා, ඉන්දියාවේ නවදිල්ලි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඇමැති උපදේශක ලෙස සේවය කළ ආචාර්ය අන්වර් මොහොමඩ් හම්දානි, ලෙබනනයේ බීරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස සේවය කළ ප්‍රියංගිකා දිසානායක සහ තුර්කියේ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරිය ලෙස සේවය කළ යෂ්මින් හිල්මි මොහොමඩ් මහත්ම මහත්මීන් ද යළි කැඳවා ඇත.

ඊට අමතරව නෙදර්ලන්තයේ හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස කටයුතු කළ අෂ්විනි හපන්ගම මහත්මිය සහ ජර්මනියේ ස්ටොක්හෝම් හි ඇමැති උපදේශකවරයා වශයෙන් සේවය කළ ජනක රණතුංග මහතා ද යළි කැඳවීමට රජය තීරණය කර තිබේ.

මෙසේ ඥාති සහ දේශපාලන හිතවත්කම් මත තානාපති සේවාවන් හි නිරත තවත් පිරිසක් ඉදිරියේදී කැඳවීමට ද රජය සැලසුම් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT