උපන් දින උත්සව හා දානමය පින්කම් විවිධාකාරයෙන් පවත්වන අවස්ථාවන් ඇති අතර අන් අයගේ පිපාසය සංසිඳුවන්නට පානීය ජලය බෙදා දීමේ මහඟු පුණ්‍යකර්මයකට එම මුදල් යොදවන පිරිසක් පොල්පිතිගම, අංක 343 සාලියගම ග්‍රාම සේවා වසමේ සාලියගම මලියදේව ප්‍රජාමූල ජල කමිටුව වටා ඒකරාශි වෙති. ඒ පිළිබඳව එම ජල ව්‍යාපෘතියේ නඩත්තු භාරකාර මොරගොල්ලාගම, මටලුවාව ලිපිනයේ පදිංචි ඊ.එම්. ගුණතිලක මහතා මෙලෙස පැවසීය.
“පොල්පිතිගම මෙවැනි ජල ව්‍යාපෘති රැසක් තිබුණා. නමුත් ඒවා බොහොමයක් මේ වන විට අක්‍රිය තත්ත්වයක තිබෙන්නේ. අපේ පානීය ජලය ප්‍රදේශයේ තිබෙන බීමට සුදුසුම වතුර කියලා සෞඛ්‍ය අංශ පරීක්ෂණයකින් පවා සනාථ කෙරුණා. මේ නිසා ගොඩක් තැන්වලින් මෙහි වතුර ගන්න එනවා. අපි පෙරවරු 6.00 ඉඳලා 9.00 දක්වාත්, සවස 4.00 ඉඳලා රාත්‍රී 7.00 දක්වාත් වතුර ලීටරයක් රුපියල් දෙකයි ශත පනහකට අලෙවි කරනවා.
අනිත් තැන්වලට වඩා මෙවැනි සහන මුදලකට වතුර දෙන එකම ජල සමිතියත් අපි තමයි. මේ තත්ත්වය තේරුම් ගත් අප වසමේ අය තම තමන්ගේ පවුලේ දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් උපන්දිනවලට හා දානමය පින්කම්වලට අප සමිතියට මුදල් බඳිනවා. එදිනට අපි එම මුදලට සරිලන සේ වතුර ගන්න එන හැමෝටම නොමිලේ ඒ පින්කම වෙනුවෙන් වතුර බෙදා දෙනවා. මේ නිසා එම පින්කම් වෙනුවෙන් විතරක් ලක්ෂ දෙකක පමණ මුදලක් මෑතක සිට අපේ ජල සමිතියට අමතර ආදායමක් ලෙසට ලැබුණා. ඒවායින් අන් අයට නොමිලේ වතුර දෙනවා. නඩත්තු හා විදුලි බිල් මෙන්ම ජල පිරිපහදුව ඉන් සිදුකරනවා.”