මේ දිනවල වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව පොල් ගසට වැලඳෙන මයිටා සහ කෘමි උවදුර නොව, පොල් වගාවට දැඩි තර්ජනයක් වී ඇති රිළවුන් සහ දඬු ලේනුන් පොල් පලදාව විනාශ කිරීම බව රත්නපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන බලමණ්ඩලය රජයේ බලධාරීන්ට චෝදනා කරති. පොල් සංවර්ධන මණ්ඩලයේ ඉහළ බලධාරීන් මාධ්‍ය ඉදිරියේ පවසන්නේ වෙළෙඳපොළේ පොල් මිල වැඩි වී ඇත්තේ පොල් අස්වැන්න අඩුවීම නිසා බවත්, එම තත්ත්වය ඇති වීමට හේතු වී ඇත්තේ පසුගිය කාලයේ පොල් වගාවට මයිටා සහ කෘමි උවදුර පැතිර යාම බවත් ය. නමුත් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව රත්නපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන බලමණ්ඩලයේ භාණ්ඩාගාරික එන්.පී. යසරත්න මහතා මෙසේ කීවේය.
“රත්නපුර දිස්ත්‍රික්කය තුළ පොල්, කෙසෙල්, එළවළු, බතල, මඤ්ඤොක්කා සහ වී වගාවේ යෙදෙන ගොවි මහතුන් විශාල පිරිසක් සිටිනවා. දිස්ත්‍රික්කය තුළ ගොවිජන සේවා මධ්‍යස්ථාන තිහක ගොවි සංවිධාන 616ක් පිහිටුවා තිබෙනවා. ඒවායේ ගොවීන් දහස් ගණනක් සිටිනවා. අපට දැන් තිබෙන එකම ප්රශ්නය තමයි අපි වගා කරන භෝග රිළවුන්, මොනරුන්, වල් ඌරන්, දඬු ලේනුන් වැනි සතුන්ගෙන් ආරක්ෂා ගැනීම. මොනරු වගා භූමිවලට ඇතුළු වී සුළු වේලාවක් ඇතුළත අස්වැන්න ආහාරයට ගන්නවා. ඒවගේම දිවා කාලය පුරාම විශාල වශයෙන් රංචු සැදී රිළවුන් වගාව විනාශ කරනවා. රාත්‍රියට වල් ඌරන් ගම් වැදී වගාවන් විනාශ කරනවා. මේ වන විට රිළවුන් වගා කටයුතුවලට මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට පවා තර්ජනයක් ඇතිකර ඇති අතර, රිළවුන් නිසා පාසල් ළමුන් පවා හිරිහැරවලට ලක්වූ සිද්ධි වාර්තා වී තියනවා. රිළවුන් සිදුකරන හානිය ගැන ජනතාව වනජීවී නිලධාරීන්ට පැවසූ විට ඔවුන් කරන්නේ ඒ ප්‍රදේශවල ඉන්න රිළවු අල්ලාගෙන තවත් ප්‍රදේශයකට මුදා හැරීම. රිළවුන් සිදු කරන විනාශයන්ට විසඳුම් ඉල්ලා දුරකතන ඇමතුම් ලබා නොදෙන ලෙස වනජීවී නිලධාරීන් ගොවීන්ට පවසා තියෙනවා. සිය වගාවන්ට වන සතුන් සිදු කරන විනාශයට විසඳුම් ලබා දෙන ලෙස ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් සහභාගි වන ප්‍රධාන සාකච්ඡාවලදී ඉල්ලුම් කළ ද, ඒ සම්බන්ධයෙන් මින් ඉදිරියට එවැනි සාකච්ඡාවලදී ඉල්ලුම් නොකරන ලෙසට ද බලධාරීන් පවසනවා.”