
ඇළ මාර්ගය
කරවිලලන්ද වෙල් යායට දියවර සපයන ප්‍රධාන අමුණ මෙන්ම ඇළ මාර්ගය දැඩි සේ අබලන්වීම හේතුවෙන් මීගහකිවුල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරවිලලන්ද, මීගොල්ල හා ඒ අවට ගම්මානවල ගොවි පවුල් සිය ගණනක් යන එනමං නොමැති තත්ත්වයකට පත්ව සිටිති. මේ හේතුවෙන් මීට පෙර යල මහ දෙකන්නය පමණක් නොව තවත් අතරමැදි කන්නයක් ද වගා කළ තමුන්, වගාවන්ට නිසි ලෙස ජලය සපයාගත නොහැකිව ගැටලු රැසකට මුහුණ දී සිටින බව ද ඔවුහු පවසති. ඇළ මාර්ගයට ජලය ලබා ගැනීම සඳහා ලොග්ගල්ලා ඔය හරස් කර තනා ඇති තාවකාලික අමුණ ලොග්ගල්ලා ඔයේ සැඩ පහරට හසුව වරින් වර කැඩී බිඳී යෑමත්, ජලය රැගෙන යන ඇළ මාර්ගයේ බොහෝ ස්ථාන නාය යෑමට ලක්ව තිබීමත් මීට ප්රධානතම හේතුව බව ද ගොවීහු සඳහන් කරති. මේ සම්බන්ධයෙන් ඩී.එම්. ටිකිරිබණ්ඩා මහතා මෙලෙස අදහස් දැක්වීය.
“කරවිලලන්ද වෙල්යාය කියන්නේ මීගහකිවුල කොට්ඨාසයේ තියෙන ඉතාම පැරණි වෙල්යායක්. හැබැයි අද වෙනකන් වෙල්යායට වතුර දෙන්න

ඩී.එම්. ටිකිරිබණ්ඩා
හරියට ඇළක් අමුණක් හදලා නෑ. වරින් වර ඇළ මාර්ගයේ පැති බැමි දෙක තුනක් හදල තියෙනවා. හැබැයි ඒවත් හරියට හදපු නැති හින්දා සිමෙන්ති බැමි පුපුරලා ඒවා අස්සෙන් වතුර ගලාගෙන යනවා. සමහර බැමි කොයි වෙලේ කඩාගෙන වැටෙයිද කියන්න බෑ. ඉස්සර කාලේ ගොවියො සලකුනු කරපු ඇළ තමයි අදටත් තියෙන්නේ. ඒක ප්රමිතියකට හදපු ඇළක් නෙවෙයි. අක්කර තුන හතරක් වවන්න හදපු ඇළ තමයි එහෙන් මෙහෙන් ලොකු කරල තියෙන්නෙ. සමහර තැන්වල ලොකු ගල් හරස් වෙලා වතුර අරගෙන යන්නේ හරිම අමාරුවෙන්. ඇලේ රොන්මඩ තැන්පත් වෙලා. මහ වැස්සක් ආවම ඇළේ දෙතුන් පොළකින් බැමි ගලවගෙන යනවා. පහළින් තියෙන්නේ ලොග්ගල්ලා ඔය නිසා නාය යෑම් වැඩියි. ඒ හින්දා මේ ඇළ මාර්ගයේ දුෂ්කර තැන් ටිකට හරි කොන්ක්‍රීට් ටිකක් දාලා දුන්න නම් වැඩිපුර වතුර ටිකක් ගෙනිහින් තවත් ඉඩම් ටිකක් අස්වද්ද ගන්න පුළුවන්. ඒවගේම ඇළට වතුර දෙන අමුණ හරියට හදල දෙනව නම් මේ වගේ දෙතුන් ගුණයක අස්වැන්නක් ගන්න පුළුවන්. ඒ හින්දා අලුත් ජනාධිපතිතුමා හරි මැදිහත් වෙලා අපිට මේ ඇළ අමුණු ටික හදල දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”