අයිස් ජාවාරමේ නියුතු පුද්ගලයකු යතුරුපැදියකින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2800ක් රැගෙන යමින් සිටියදී හතර ගේට්ටුව අසල මාර්ග බාධකයේදී එම යතුරපැදිය සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවූ කරුණු මත මොරටුමුල්ල, ඉඳිබැද්ද පදිංචිව සිටින ඔහුගේ මස්සිනාගේ නිවෙසේ සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත නවීන පන්නයේ රිවෝල්වරයක් ද සමඟ ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ නිවාරණ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.
සැකකරු රත්මලාන ආර්ථික මධ්‍යස්ථාන නිවාස සංකීර්ණයේ පදිංචිව 32 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ නිවාරණ ඒකකය මඟින් ඉකුත් 28 වැනිදා මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් මත හතර ගේට්ටුව අසල මාර්ග බාධක යොදා වාහන පරීක්ෂාවේදී මෙම සැකකරු යතුරුපැදිය සමඟ පැමිණ ඇති අතර, සිදු කළ පරීක්ෂාවේදී මෙම අයිස් තොගය හමුව ඇත.
අනතුරු වැඩිදුර පරීක්ෂණ පවත්වන අතරතුර සිදු කළ ප්‍රශ්න කිරීමේදී මොරටුමුල්ල, පහළ ඉඳිබැද්ද ඔහුගේ මස්සිනාගේ නිවෙසේ සඟවා ඇති බවට සැකකරුගෙන් හෙළිවීමත් සමඟ පාකිස්තානයේ නිෂ්පාදිත උණ්ඩ හයක් යෙදිය හැකි මෙම රිවෝල්වරයද ජාවාරම් සඳහා යොදාගත් නවීන ජංගම දුරකතනයද පොලිස් භාරයට ගනු ලැබ ඇත.
මේ අනුව මෙම සුපිරි රිවෝල්වරය ලැබුණේ කාගෙන්ද, යන්නත් පසුගිය දිනවල කොට්ඨාසයේ සිදුවූ ඝාතනවලට යොදා ගත්තේ ද යන්නත්, පිළිබඳව අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යනු ලබන බවත් පොලිසිය පැවසීය.