තම පක්ෂයේ ප්‍රතිපත්තිවලට එකඟව පුද්ගලික වරප්‍රසාදවලට එහා ගිය පොදු එකඟතාවක් ඇති කරගැනීමට හැකි නම්, ඕනෑම කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ජාතික ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මංජු නිශ්ශංක මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ, කොළඹදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙලෙස ද කීවේය.
“පසුගිය කාලයේදී දේශපාලනඥයන් ආර්ථික, දේශපාලන සහ සමාජයීය වශයෙන් මේ රටට සිදු කළ හානිය අපි දන්නවා. ඒ නිසා මෙරට දේශපාලනයට නවකයන් අවශ්‍ය වෙනවා. නමුත් මෙරට දේශපාලනය සඳහා අලුත් අය තෝරාගැනීමේදී දැනුමක් ඇති අය අවශ්‍යයි. වසර 20ක් 25ක් පමණ පාර්ලිමේන්තුවේ සිටි අය නැවත වරක් පාර්ලිමේන්තුවට යැවිය යුතු නෑ. හිටපු අය තමන්ගේ කාර්යභාරය හරියට කළේ නෑ. ඒ අයගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ රටේ පවුල් ලක්ෂ 23ක් දරිද්‍රතා රේඛාවෙන් පහළට ඇදවැටුණා.
ඒ නිසා ඒ අයට කිසිම අයිතියක් නෑ ඡන්දය දෙන්න කියන්න. පාර්ලිමේන්තුවේ බහුතරයක් සිටියේ නුසුදුසු අයයි. නීති සම්පාදනය කළ හැකි සහ යම්කිසි දැනුමක් ඇති අය පමණක් පාර්ලිමේන්තුවට එවන්න අනෙකුත් පක්ෂවලට වගකීමක් තිබෙනවා. නමුත් අපි දේශපාලන වශයෙන් කටයුතු කිරීමේදී ඕනෑම කණ්ඩායමක් සමඟ සාකච්ඡා කරන්න සූදානම්. අපේ ප්‍රතිපත්තිවලට එකඟ වන්නේ නම්, පෞද්ගලික වරප්‍රසාදවලට එහා ගොස් පොදු එකඟතාවකට අනුව කටයුතු කරන්නේ නම්, අපි සහයෝගය දෙනවා. එසේ වුණත් පවුල්වාදය ඇති දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡාවට යන්නේ නෑ. දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් වශයෙන් අපේ පක්ෂය ශක්තිමත්. පසුගිය කාලයේ සිදුවූ ආකාරයේ වංචා සහ දූෂණ අවම කිරීමේ අරමුණින් රටේ ජනතාව අපේක්ෂා කරන ආකාරයේ දේශපාලනයක නිරත වීම ජාතික ජනතා පක්ෂයේ අපේක්ෂාවයි. මේ වන විට ආණ්ඩුව අපේ නිවෙසටම රිංගා තිබෙනවා. නමුත් මේ විදියට රටක් හදන්න බෑ. ශක්තිමත් ආර්ථිකයක් තුළ පුරවැසියාගේ ආදායම් මට්ටම ශක්තිමත් කිරීම තමයි ශක්තිමත් රාජ්‍යයක් නිර්මාණය කරනවා කියන්නේ. කවුරු ආණ්ඩුව කළත් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගත යුතුයි.”
ඡායාරූපය – විමල් කරුණාතිලක