ප්‍රසන්න අධිකාරී මහතා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයට යම් චෝදනාවක් කරනවා නම් එය පැහැදිලිවම ඩීල් එකක්, මිලදී ගැනීමක් බව එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා අවධාරණය කරයි.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (30) බොරැල්ලේ පිහිටි එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂය රටේ කැළඹිලි ඇති කළ පක්ෂයක් වෙලා තිබෙනවා. ජනතාවට නෙමෙයි මේ කැළඹිලි ඇති වෙලා තිබෙන්නේ ගොඩක් දේශපාලන පක්ෂවලට. මේ රටේ දේශපාලනය කියන්නෙම මඩ වළක්. මේ මඩවලට බහින කොට අපි දන්නවා, අපට මඩ ගහනවා කියලා. නමුත් අපි අපේ අත්වල මඩ ගාගන්නේ නැතිව ඉස්සරහට යමින් ඉන්නවා.
පසුගිය දවසක මෙරට පුරවැසියෙක් කියන කෙනෙක් (අපි විශ්වාස කරනවා, ඒකත් බළල් අතක් කියලා) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා, රන්ජන් රාමනායක මහතා මේ රටේ මිනිසුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ආවොත් ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් දෙන්න කියලා. අපි දන්නෙ නෑ, රන්ජන් රාමනායක වගේ කෙනෙක් පාර්ලිමේන්තුවට ආවාම ඒ මානවයාගේ හිමිකම් උල්ලංඝනය වෙන්නේ කොහොමද කියන එක. නමුත් මේ රටේ ඔහුට අයිතියක් තියෙනවා, එහෙම ඉල්ලීමක් කරන්න. අපි ඒ කාරණාව සම්බන්ධයෙන් සාවධානව බලාගෙන හිටියා. අපට මේ රටේ අධිකරණය පිළිබඳව තිබෙන්නේ බරපතළ විශ්වාසයක්. මේ විශ්වාසය අපේ රටේ අධිකරණය නැවත තහවුරු කර තිබෙනවා. මේ රට වෙනුවෙන් විශ්වාසය තැබිය හැකි එකම එක ආයතනයක් හෝ තිබීම සම්බන්ධයෙන් අපි ස්තූතිවන්ත වෙනවා. රන්ජන් රාමනායක මහතා මැතිවරණයට තරග කළාට කාගෙවත් මානව හිමිකමක් කඩ වෙන්නේ නෑ කියලා අධිකරණය තීරණය කර තිබෙනවා වගේම එතැන කතා කරන්න තරම්වත් නඩු නිමිත්තක් නැති බව මේ වන විට ප්‍රකාශයට පත්වෙලා තිබෙනවා. ඒ නිසා ඒ නඩුව විභාගයකින් තොරව ඉවර වෙලා තිබෙනවා.
ප්‍රසන්න අධිකාරී මහතා අපේ කණ්ඩායමේ කාර්යශූරව වැඩ කළ කෙනෙක්. නමුත් ඒ මහතාට පක්ෂයත් සමඟ ඇති ගැටලුවකට වඩා එතුමා මේ පක්ෂයට එන්නේ මේ පක්ෂය තේරුම්ගෙන එතුමා මෙයට දවස් දෙකකට කලිනුත් මේ ස්ථානයේ මාධ්‍ය හමුවකට මාත් සමඟ වාඩිවී සිටියා. එතුමා ඊයේ දවසේ රාත්‍රියෙත් යූ ටියුබ් නාලිකාවක එතුමා මේ පක්ෂයේ තිබෙන වැදගත්කම වටිනාකම මේ පක්ෂයට තිබෙන ගැටලුවලට තිබෙන උත්තර මටත් වඩා හොඳට මාධ්‍යවේදියෙක් කියා දුන්නා. රෑ නිදාගෙන උදේ නැගිටින කොට මොළේ මොකක් හරි හෙල්ලිල්ලක් වුණේ නැත්නම් එහෙම වෙන්න බෑ.”