ආර්ථිකයට නව පිම්මක් ඇති කරමින් රට ඩිජිටල්කරණයට කඩිනම් පියවර ගන්නා බවත් විදුලි බිල අඩු කිරීමට නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයන්ට ජනපති ප්‍රකාශ කරයි.
ජනපති අනුර කුමාර දිසානායක මහතා එසේ ප්‍රකාශ කළේ වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරේදා (29) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී කිසිම දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් සහාය දීමට සූදානම් බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයෝ පැවසූහ.
වත්මන් පාලනය යටතේ ඉදිරි වසර තුන ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් ජනපතිවරයා මෙසේද පැවසීය. ඩිජිටල්කරණයෙන් ශ්‍රී ලංකාව වෙනම තලයකට ඔසවා තැබීමට හැකියාව තිබෙන බවත් ඩිජිටල්කරණයට අදාළ මැදිහත්වීම මේ වන විට වත්මන් රජය ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රක්ෂණ, බැංකු, ඉදිකිරීම්, සංචාරක, වැවිලි කර්මාන්ත, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ගැටලු හා අනාගත ඉලක්ක පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. රටේ ආර්ථිකය ගොඩනඟමින් ඊට අනුරූපව ජනතාවට බදු සහන ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. විදුලිය සහ බලශක්ති ක්ෂේත්‍ර පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී බලශක්ති ස්වාධිපත්‍යට ප්‍රමුඛතාව ලබා දෙන බවද නව විදුලි බල පනතක් සකස් කිරීමේදී බලශක්ති ස්වාධිපත්‍ය ගොඩනඟන දිශාවට අවශ්‍ය කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.
අකාර්යක්ෂමතාව, සේවක කළමනාකරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බවත් කාර්යක්ෂම මහජන සේවාවක් සඳහා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි අවුරුදු කීහිපයේ විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
අපනයන කර්මාන්තය දියුණු කිරීම සහ ජාත්‍යන්තර නව වෙළෙඳපොළ අවස්ථා සොයා ගැනීම තානාපති සේවයේ ප්‍රමුඛ කාර්යක් බවත් ඒ සඳහා හැකියාව ඇති දක්ෂ නිලධාරීන් තානාපති සේවයට පත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති, GSH සිටි හොටෙල්හි කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී දීපාල් නෙල්සන්, ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම්, රීජන් රිනීවර්බල්ස් ප්‍රයිවර්ට් ලිමිටඩ්හි කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ලක්මාල් ප්‍රනාන්දු, සීමාසහිත සෙලින්කෝ ජෙනරල් රක්ෂණ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ පැට්‍රික් අල්විස්, පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නලින් එදිරිසිංහ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.