ඩිජිටල් තිර භාවිත කරමින් මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකිරීම නීති විරෝධි බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. එවැනි ප්රචාරණ කටයුත්තක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය දැනුම්වත් කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඡන්ද දායකයන්ට දැනුම් දෙයි.
කුමන හෝ දිස්ත්රික්කයක නගරයක ඩිජිටල් තිරයක යම් ආකාරයක ප්රචාරක කටයුත්තක් සිදුකරන්නේ නම් කරුණාකර ළඟම තිබෙන පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ඒ අනුව පොලිසිය කටයුතු කරනු ඇතැයි ද කීවේය.
මේක සම්පූර්ණ නීතිවිරෝධී ක්රියාවක්. මේක බලහත්කාරයෙන් මිනිසුන්ට ප්රචාරය කිරීමක්. මුදල් ගෙවා හෝ ප්රදර්ශනය කිරීම තහනම්. හේතුව ඒවා පොදු ස්ථානයක පෝස්ටරයක් ප්රදර්ශනය කිරීම හා සමානයි. ඒ නිසා එය ප්රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඩිජිටල් තිර මත දැන්වීම් යැවීම සම්පූර්ණයෙන් නීතිවිරෝධීයි. මීට ඉහත පැවැත්වූ මැතිවරණයකදී මේ සම්බන්ධ අධිකරණ තීන්දුවක් ගෙන තිබෙනවා. අපි ඒ අනුව අධිකරණයට යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා යැයිද හෙතෙම සඳහන් කළේය.
අයුතු බලපෑම් මඟින් ඡන්දය ලබාගැනීමට යම් අපේක්ෂකයකු කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව අදාළ දිස්ත්රික්කයේ මැතිවරණ කාර්යාලයට හෝ පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස ද හෙතෙම පෙන්වා දුන්නේය. ඒ මහතා මේ බව කියා සිටියේ දිනමිණ කළ විමසීමකට පිළිතුරු දෙමිනි.