ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුම ගැන කෙෙරන විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මෙරටදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටි ඇෆ්ගනිස්තාන් ජාතිකයකු විසින් සියල්ල මෙහෙයවා ඇති බවය.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් මේ වන විට ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාළව සැකකරුවන් හයදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.
ඒ අතර මාලදිවයින් ජාතිකයකු සහ මාලදිවයින් සම්බවයක් ඇති අයකු ද සිටී. මාලදිවයින් සම්බවයක් ඇති පුද්ගලයාගේ පියා මාලදිවයින් ජාතිකයකු වන අතර මව ශ්‍රී ලංකික කාන්තාවකි.
බිලාල් නමැති මාලදිවයින් සම්බවයක් ඇති එම පුද්ගලයාට ඇෆ්ගන් ජාතිකයා මෙයට මාස දෙකකට පමණ පෙරදී විදේශයක සිට දුරකතන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇත්තේ ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්කර ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි නම් අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ලබාදිය හැකි බවය. එම දුරකතන ඇමතුම ලැබෙන විට බිලාල් සිට ඇත්තේ යැයි පැවසෙන්නේ කොළඹින් බැහැර ප්‍රදේශයක සංචාරයක නිරත වෙමිනි. ඊශ්‍රායල් ජාතිකයන් බහුල වශයෙන් ගැවසෙන ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල් ජාතිකයන් කිහිපදෙනකුට පිහියකින් ඇන හෝ අනතුරක් කරන ලෙස ද එහිදී බිලාල් නමැති අයට දැනුම්දී ඇති බව ද විමර්ශනවලින් හෙළිවී ඇත.
ඇෆ්ගනිස්තාන් ජාතිකයා සහ බිලාල් නමැති මාලදිවයින් සම්බවයක් ඇති පුද්ගලයා දැන හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාරගතව සිටියදීය. බිලාල් නමැති අය ද මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අයකු බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කරගෙන මෙරටදී ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ගැන මෙන්ම බිලාල් සම්බන්ධයෙන් තොරතුරු විදේශීය බුද්ධි අංශයක් මඟින් මෙරටට ලැබී ඇත්තේ ද එම වකවානුවේදීමය. තහවුරු නොවූ තොරතුරක් ලෙස ලද එම තොරතුර තහවුරු වූ තොරතුරක් ලෙස නැවත ලැබී ඇත්තේ ඔක්තෝබර් 07 වැනිදාය.
මේ සම්බන්ධයෙන් ලද විදෙස් බුද්ධි තොරතුරට අනුව විමර්ශන පවත්වා ත්‍රස්ත මර්දන හා විමර්ශන අංශයත් මෙරට බුද්ධි අංශත් බිලාල් කවුරුන්දැයි හඳුනාගෙන ඇත්තේ දුරකතන දත්ත විශ්ලේෂණ ඇතුළු තාක්ෂණික විමර්ශන වලද සහාය ඇතිවය.
දෙහිවල කවුඩානේ තට්ටු නිවාස සංකීර්ණයක පිහිටි නිවෙසක පදිංචිව සිටියදී ඔහුව අත්අඩංගුවට ගැනීමට ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය සමත්ව ඇත. දෙහිවල නිවෙසේ පදිංචියට පැමිණීමට පෙර ඔහු සිය මව සමඟ පදිංචිව සිට ඇත්තේ වැල්ලවත්ත මල්ලිකා පටුමඟේ නිවෙසකය. දැන් එම නිවෙසේ සිටින්නේ බිලාල්ගේ මවගේ සහෝදරියන් දෙදෙනාය. බිලාල්ගේ පියා මාලදිවයිනේ රැඳී සිටින බව සඳහන්ය.
පොලිස් තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව විදෙස් බුද්ධි තොරතුරට අනුව මුලින්ම හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත්තේ බිලාල්ය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඇෆ්ගනිස්තාන් ජාතිකයා ගැනත් ඔහු තමාට දුරකතන ඇමතුමක් දෙමින් ඊශ්‍රායල් ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට කථා කළ බවත් පවසා ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය. තමාට එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට කිසිදු උවමනාවක් නොතිබුණත් ඇෆ්ගනිස්තාන් ජාතිකයාගෙන් මුදලක් ලබා ගැනීමේ අවශ්‍යතාව මත අමෙරිකානු ඩොලර් 25,000ක අත්තිකාරමක් ඉල්ලූ බවත් සැකකරු පවසා ඇතැයි ද පොලිස් තොරතුරු සඳහන් කළේය.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් හමුවේ සහ මේ සම්බන්ධයෙන් ඔහු කතාබහ කර ඇති පුද්ගලයන් හඳුනා ගනිමින් සෙසු අය අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ. ඒ අතර 2006 වසරේදී පාකිස්තානු මහකොමසාරිස්වරයා ගමන් කළ වාහන පෙළට කොල්ලුපිටියේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසර 15ක පමණ කාලයක් බන්ධනාගාරගතව සිට 2023 වසරේ නොවැම්බර් මාසයේදී අධිකරණයෙන් නිදහස ලැබූ ස්ටාර් නමැති අය ද සිටියි. යාපනය චුන්නාකම් වැසියකු වන ආරක්ෂක අංශවල ඇතැම් සාමාජිකයන්ගේ තොරතුරුකරුවකු ලෙස ද කටයුතු කර ඇති අයකු බව සඳහන්ය.
බන්ධනාගාරගතව සිටියදී බිලාල් සමඟ හිතවත්කම් ගොඩනඟාගෙන සිටි රාජගිරියේ පදිංචි පුද්ගලයකු ද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අය අතර සිටියි. බිලාල් නමැති අය තමාට ලද කොන්ත්‍රාත්තුව ගැන ඔහු සමඟ කතාබහ කර ඇති බවත් එවැනි දේවල් කර අමාරුවේ නොවැටෙන ලෙස ඔහු විසින් බිලාල්ට අවවාද කර ඇති බවත් සඳහන්ය. ඒ හැරුණු කොට බිලාල් ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ මාලදිවයින් ජාතිකයාගේ මිතුරකු ද අත්අඩංගුවට ගත් අය අතර සිටියි. රෂිඩ් නමැති එම මාලදිවයින් ජාතිකයා ද මේ ගැන තොරතුරු දැන සිට ඇති බව අනාවරණය වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බිලාල් අත්අඩංගුවට ගත් නිවාස සංකීර්ණයේදී බව පොලිස් තොරතුරු සඳහන් කළේය. පසුගිය දෙසැම්බර් මාසයේදී මාලදිවයින් ජාතිකයා සිය බිරිය සමඟ මෙරටට පැමිණ ඇත. එම නිවාස සංකීර්ණයේ නිවෙසක ඔහු බිරිය සමඟ කුලියට රැඳී සිට ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ ඊශ්‍රායල් ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ඇෆ්ගනිස්තාන් ජාතිකයකුගේ යෝජනාවක් පමණක් ඉදිරිපත් වී ඇතිමුත් මෙරටින් අත්අඩංගුවට ගත් කිසිදු සැකකරුවකු ඒ සඳහා සූදානමකින් සිට නැති බවය. එබැවින් මේ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ට සැකයක් පවා මේ වන විට ඇති වී තිබේ. එහෙත් මේ ගැන තවදුරටත් විමර්ශනය කළ යුතුව ඇති බැවින් රඳවා ගැනීමේ නියෝගයකින් සැකකරුවන් රඳවාගෙන විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඇෆ්ගනිස්තාන් ජාතිකයා හඳුනාගෙන ඇති බැවින් ජාත්‍යන්තර පොලිසියේත් විදෙස් බුද්ධි අංශවලත් සහාය ඇතිව ඔහු සම්බන්ධයෙන් වූ විමර්ශනයක් ද මේ වන විට සිදුවෙමින් ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
”මේ තොරතුර ලැබුණු හැටියෙම අපිත් බය වුණා. මේකත් හරියට 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වගේ වැඩක් ද කියලා. ඒ නිසා දිවා රෑ නොබලා ලොකු වෙහෙක් ගත්තා මෙහි අග මුල සොයා ගන්න. දැන් අපට යම් සැකයක් මතු වෙලා තියෙනවා මේ ගැන. අපි තවදුරටත් ඒ නිසා මේ සිදුවීම ගැන අවධානයෙන් ඉන්නේ” යැයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.