රුපියල් ලක්ෂ 50කට අධික හෙරොයින් ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදී මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංකානම් ආරච්චිගේ සුජීව නොහොත් ලොකු පුතා ලබන මස 5 දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (30) මරදාන පොලීසියට නියෝග කළාය.
මරදාන ප්‍රදේශයේ මෝටර් රථ ආයතනයක් ඉදිරිපිට අයකු හෙරොයින් ජාවාරම් කරන බවට තොරතුරක් ලැබුණු බවත්, පසුව එම ස්ථානයේ විමර්ශන කටයුතු කිරීමේදී සැක සහිත ආකාරයට මේ සැකකරු රැඳී සිටි ඇති බවත් මරදාන පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඒ අවස්ථාවේ මෙම සැකකරු පරීක්ෂා කිරීමේදී දකුණු අතේ විනිවිද පෙනෙන බෑගයක් තුළ දමා තිබූ හෙරොයින් ග්‍රෑම් 500යි මිලිග්‍රෑම් 560ක ප්‍රමාණයක් සොයාගත් බවද පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පවසා සිටියේ මේ සන්තකයේ තබාගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත්, සැලසුම් සහගතව තම සේවා දායකයා කොටු කිරීමට පොලීසිය කටයුතු කරන බවත්ය. මේ සැකකරු මත්ද්‍රව්‍ය ලබා ගන්නේ කෙසේද, කා හට ලබා දෙනවාද හා කුමන ප්‍රදේශවලට බෙදාහරිනවාද යන්න පිළිබඳ විමර්ශන කිරීමට අවශ්‍ය බැවින් රැඳවුම් නියෝග දෙන ලෙසට මරදාන පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය ලබන මස 5 දින දක්වා සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කළේය.