මහ සයුරේ රත්රන් ලෙස හඳුන්වනු ලබන තල්මසුන්ගෙන් ලබාගන්නා ඇම්බර් තොගයක් රුපියල් කෝටි 5කට අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට පාණදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පෙරේදා (29) සමත්ව ඇත.
ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඇම්බර ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවටත්, එසේ ලබාගත් අම්බර් තොගයක් රුපියල් කෝටි 5ක මුදලකට අලෙවි කිරීමට පිරිසක් සූදානම් වන බවටත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා අතර මේ ජාවාරම මෙහෙයවන මහමොළකරුවන් දෙදෙනාද සිටින බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.
(ප්‍ර.පො.ප) එස්.ඒ. එස්. සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පිටිගල ප්‍රදේශයේදී කළ මෙම වැටලීමේදී ඇම්බර කිලෝ 17යි ග්‍රෑම් 234ක් සොයාගෙන තිබේ. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2 වැනි උප ලේඛනයට අනුව කොඳුඇට පෙළක් සහිත දැඩි ආරක්ෂක මත්ස්‍යයකු ලෙස තල්මසුන් නම් කර ඇත. අම්බර මඟින් වාසනාව, ධනය, බලය හා ශක්තිය ලැබෙන බවට වූ මිථ්‍යා විශ්වාසයන් හේතුවෙන් ඇම්බර සඳහා ඉහළ ව්‍යාජ වටිනාකමක් ඇති වී තිබේ. ඒ නිසාම තල්මසුන් දඩයම් කරමින් ඇම්බර ලබාගැනීමට පෙලඹී ඇත. ලෝකයේ මිල අධික සුවද විලවුන් නිෂ්පාදනයටද ඇම්බර යොදාගන්නා අතර ඇම්බර කෙසෙල් සමඟ ආහාරයට ගැනීමෙන් දැඩි කාම ශක්තියක් ඇති වන බවට ඇතැම් විදේශිකයන් අතර මතයක්ද තිබේ.