මැතිවරණ මෝසමකට සමාන කළ හැකි දෙයකට මඟ පාදමින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන මැතිවරණ නියඟය අවසානයේ අවසන් වී තිබේ. ලබන මාසයේ පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී, වැදගත් මැතිවරණ දෙකක් පසුගිය මාසය තුළදී අපි දුටුවෙමු. දේශපාලන පෙරළි සහ අපේක්ෂාවන් ඇති කාලයක, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා වූ මැතිවරණය එහි ප්‍රාදේශීය ඇඟවුම් සඳහා පමණක් නොව, ඉදිරි මහ මැතිවරණයට ඇති විය හැකි බලපෑම කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු කර ඇත.
පුරෝකථනය කළ ජයග්‍රහණයක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සෙනසුරාදා පැවති මැතිවරණයේ ප්‍රතිඵලය බොහෝදුරට බලාපොරොත්තු වූ එකකි. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කිසිවෙකු සැක කළේ නැත. එහි ප්‍රතිඵලය බොහෝදුරට පෙර නිගමනයක් විය. මෙම ප්‍රාදේශීය තරගය ජාතික මැතිවරණයකට සමාන ප්රමුඛත්වයක් ලබා ගත්තේ, විශේෂයෙන්ම එය මහමැතිවරණයක් ආසන්නයේ සිදු වූ බැවිනි. එන්පීපීයේ අපේක්ෂිත සාර්ථකත්වය, ශ්‍රී ලංකාවේ මැතිවරණ ගතිකත්වය සැලකිය යුතු ලෙස වෙනස් කළ එකකි. ජනාධිපතිවරණය විරුද්ධ පක්ෂ අවුල්සහගත තත්ත්වයට පත් කළත් ඇල්පිටියෙන් ඔවුන්ට යම් උත්සුකයන් ලබාදී ඇත.
ඓතිහාසික වශයෙන්, ජනාධිපතිවරණයකින් පසු විපක්ෂයේ පක්ෂ නැවත පය තැබීමට අරගල කරන බව බොහෝවිට දැකිය හැකි අතර ඇල්පිටිය මැතිවරණයද ඊට ව්‍යතිරේකයක් නොවීය. විශේෂයෙන්ම සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන විරුද්ධ කණ්ඩායම් ඔවුන්ගේ මැතිවරණ ප්රචාරක කටයුතුවලදී ඇල්පිටිය බොහෝදුරට අතහැර දමා ඇති බව පෙනී ගියේය. මෙම සංවිධානාත්මක විරුද්ධත්වයේ ඌනතාව ප්‍රාදේශීය සභාව තුළ ආධිපත්‍යය සඳහා වූ ඔවුන්ගේ ගවේෂණයට කිසිදු ඉඩක් ඉතිරි නොකර ශක්තිමත් ව්‍යාපාරයක් යෙදවීමට එන්පීපීයට ඉඩ සැලසීය.
මැතිවරණ ප්‍රතිඵල: මිශ්‍ර තේරීම්
එන්පීපීය කොට්ඨාස 17න් 15ක් දිනා ගැනීමට සමත් වූ අතර, අවසානයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සමස්ත ආසන 30න් 15ක් පමණක් ලබා ගැනීමට සමත් විය. මේ ප්‍රතිඵලයෙන් අදහස් වන්නේ සභාවේ කිසිවෙකුට බහුතරයක් නොමැති බවයි. එය සැලකිය යුතු කනස්සල්ලකි.
අළු ගසා නැඟිටීම
එන්පීපී පසුගිය ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන දෙකක සිට 15 දක්වා ඉහළ යාම කැපී පෙනෙන ජයග්‍රහණයක් වන අතර එය දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයක් සහ මහජන සහයෝගයේ සැලකිය යුතු වෙනසක් පිළිබිඹු කරයි. මෑත කාලීන ජනාධිපතිවරණ තරගයේදී, පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 2019 දී 3% සිට 42% දක්වා ඉහළ යාම පෙර නොවූ විරූ පෙරළියකි.
කෙසේ වෙතත්, ඇල්පිටියේ ජයග්‍රහණයේ වැදගත්කම හීන කිරීම ඉලක්ක කර ගනිමින් එන්පීපීයට නිරපේක්ෂ බහුතරයක් ලැබී නොමැති බව අවධානයට ලක් වේ. මෙම ආඛ්‍යානය අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයට එල්ල කරන ලද විවේචන ප්රතිරාවය කරයි. එහිදී ඔහුට 50%ක් සහ එක් ඡන්දයක් ලබා ගැනීමට නොහැකි වීම ඔහුගේ ජනවරම ප්‍රශ්න කිරීමට යොදා ගන්නා ලදී.
NPP හි ආසන සංඛ්‍යාවේ ආකර්ෂණීය වර්ධනයක් තිබියදීත්, සභාව සම්පූර්ණයෙන්ම ආධිපත්‍යය දැරීමට පක්ෂය අසමත් වීම, විශේෂයෙන් බෙදී ඇති සභාවක් සමඟ ඵලදායි ලෙස පාලනය කිරීමට ඇති හැකියාව පිළිබඳ අනතුරු අඟවයි. ඉදිරි මහමැතිවරණය සඳහා එය සූදානම් වන විට, ඇල්පිටියේ ක්‍රියාකාරිත්වය එහි ප්රචාරක උපාය මාර්ගයේ කේන්ද්‍රස්ථානයක් වනු නොඅනුමානය.
අනාගත අභියෝග
පෙර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ගතිකත්වය ආවර්ජනය කරමින්, 2019 ජනාධිපතිවරණයට මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 29න් 17ක් ලබා ගත් බව සිහිපත් කිරීම වැදගත්ය. කෙසේ වෙතත්, 2023 දී එහි සභා අය වැය සිව් වතාවක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එහි පරිපාලනය බිඳ වැටුණු අතර එය විශේෂ කොමසාරිස්වරයෙකු පත් කිරීමට සහ අවසානයේ ප්‍රා. සභාව විසුරුවා හැරීමට හේතු විය. මේ ඉතිහාසය ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය පාලනය බොහෝවිට සංලක්ෂිත වන අස්ථාවරත්වය සහ අනපේක්ෂිත බව අවධාරණය කරයි.
මිශ්‍ර නියෝජන ක්‍රමය හඳුන්වාදීමේ අරමුණ වූයේ ප්රචාරක වියදම් අඩු කිරීම සහ නියෝජිතයින් සහ ඔවුන්ගේ කොට්ඨාස අතර සෘජු වගවීම පෝෂණය කිරීමයි. කෙසේ වෙතත්, වාර්තා පෙන්වා දෙන්නේ අපේක්ෂකයින් ප්රචාරක කටයුතුවලට වැඩි වියදමක් දරන බවයි. ස්ථාවර පළාත් පාලන පරිපාලනයක් ඇති කිරීමේ අභිප්‍රාය සාක්ෂාත් වී නොමැති බව, සභා කිහිපයක් කඩා වැටීමෙන් හා අකාර්යක්ෂමව පැවතීමෙන් පෙන්නුම් කරයි.
මැතිවරණ භූ දර්ශනය
ඇල්පිටියේ එන්පීපී ජයග්‍රහණයේ ඇඟවුම් පළාත් පාලනයෙන් ඔබ්බට විහිදේ; ඔවුන් ඉදිරි මහ මැතිවරණය සඳහා වේදිකාව සකසා ඇත. දේශපාලන විශ්ලේෂකයින් අනාගත ප්රවණතා පුරෝකථනය කිරීමේ උත්සාහයක් ලෙස මැතිවරණ ප්‍රතිඵල විමර්ශනය කරනු ඇති බවට සැකයක් නැත. නමුත් ඡන්ද රටාව ස්ථිතික නොවන බව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනු ලබන්නේ අනපේක්ෂිත ප්‍රතිඵල නිකුත් කිරීමේ ඉතිහාසයකට හිමිකම් කියන සමානුපාතික ක්‍රමය යටතේය.
පසුගිය කාලයේ ජනාධිපති ධුරය දිනාගත් පක්ෂ පාර්ලිමේන්තු බහුතරය තහවුරු කර ගැනීමේදී නිතර අභියෝගවලට මුහුණ දුන්නා. 2000 සහ 2015 අවස්ථා මැතිවරණ ජයග්‍රහණයේ ගතිකත්වය විවිධ ආකාරයේ මැතිවරණ අතර නාටකාකාර ලෙස වෙනස් විය හැකි බව මතක් කර දෙයි. 1999 දී දෙවන ජනාධිපති ධුර කාලය ජයග්‍රහණය කළ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, ඊළඟ වසරේ පාර්ලිමේන්තුවේ නිරපේක්ෂ බහුතරයක් ලබා ගැනීමට තම සන්ධානය අසමත් වීම කැපීපෙනේ. 2015 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ නමුත් එම ජයග්‍රහණය පාර්ලිමේන්තු ආධිපත්‍යය බවට පරිවර්තනය කිරීමට අපොහොසත් වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එජාප සන්ධානයට අත් වූයේ ද එවැනිම ඉරණමකි.
ඛණ්ඩනය වූ අනාගතයක්
මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය ළං වන විට, කිසිදු දේශපාලන පක්ෂයකට බහුතරයක් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි ඇඟවුම් කරයි. සමානුපාතික ක්‍රමය යටතේ ආසන වෙන් කිරීම නිසා කුඩා පක්ෂවලට සාපේක්ෂව ඡන්ද අඩුවෙන් වුවද නියෝජනයක් ලබාගත හැකි තත්ත්වයක් උදාවී ඇත. නිදසුනක් වශයෙන්, 2020 මහමැතිවරණයේදී, ඡන්ද 34,000 ත් 68,000 ත් අතර ප්‍රමාණයක් ලබාගත් පක්ෂ 10 ක් ඒකාබද්ධ ආසන 12 ක් ලබා ගත් අතර, ඡන්ද 250,000 ක් පමණ ලබා ගත් එක්සත් ජාතික පක්ෂයට ඉතිරි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි. මෙම ඛණ්ඩනය ඉදිරි මැතිවරණයේ අනාවැකි කීම දුෂ්කර කරවයි.
අනපේක්ෂිත සාධක
අනපේක්ෂිත සිදුවීම් දේශපාලන පරිසරය වෙනස් කිරීමට ඇති හැකියාව නිසා ඉදිරි මහමැතිවරණය වඩාත් සංකීර්ණ වී ඇත. නැඟෙනහිර පළාතේ සිදුවිය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ මෑත කාලීන අනතුරු ඇඟවීම්, ඡන්දදායකයින්ගේ හැඟීම් කෙරෙහි බලපෑම් කිරීමේදී ජාතික ආරක්ෂාවේ වැදගත්කම ඉස්මතු කරමින් ජනතාව අතර ආරක්ෂක ගැටලු අවුලුවා ඇත. එවැනි සාධක මැතිවරණ තරගයේ ගතිකත්වය නාටකාකාර ලෙස වෙනස් කළ හැකි අතර, ඊට ප්‍රතිචාර වශයෙන් තම උපාය මාර්ග සකස් කිරීමට පක්ෂ සූදානම් විය යුතුය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණයේ ක්ෂුද්‍ර රූපයක් ලෙස ක්‍රියා කරයි. NPP හි සැලකිය යුතු ජයග්‍රහණ මහජන මනෝභාවයේ වෙනසක් පිලිබිඹු කරයි. නමුත් බහුතරයක් නොමැතිකම එහි පාලනයට අභියෝග කරයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රට සූදානම් වන විට, දේශපාලන පක්ෂ මෙම සංකීර්ණ භූ දර්ශනය තුළ සැරිසරන්නේ කෙසේද යන්න පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වනු ඇත.
ඡන්ද රටා අනපේක්ෂිතව පවතින අතර මිශ්‍ර නියෝජන ක්‍රමයේ ඇඟවුම් මැතිවරණ ක්‍රියාවලිය සංකීර්ණ කරයි. ඓතිහාසික සන්දර්භය, මෑත සිදුවීම් සහ පක්ෂ උපාය මාර්ගවල අන්තර් ක්‍රියාකාරිත්වය ඉදිරි මැතිවරණවල ප්‍රතිඵලය හැඩගස්වනු ඇත. මෙම මැතිවරණ මෝසම තුළ, ශ්‍රී ලංකාව සන්ධිස්ථානයක සිටින අතර, ඉදිරි සතිවල ගනු ලබන තීරණ ඉදිරි වසර ගණනාව තුළ ජාතියේ දේශපාලන ගමන් මඟට බලපානු නොඅනුමානය.
ආචාර්ය සම්පත් රාජපක්ෂ