1960 ජූලි මාසයේ පැවත්වූ මහමැතිවරණය අපේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවකි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය හැටියට පත්වන්නේ මේ මැතිවරණය ඔස්සේය. ආර්ථික හා දේශපාලනික වශයෙන් ප්‍රශස්ත මට්ටමක නොපවතින්නේ යැයි විශ්වාස කරනු ලබන ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකින් ලොව ප්‍රථම අගමැතිනිය බිහිවීම විශේෂ දේශපාලන සංසිද්ධියක් සේ සැලැකිල්ලට ලක්විය. මෙහිලා සලකා බැලිය යුතු සාධක කිහිපයක් තිබේ.
(I) එවකට පැවති පොදු මහජන මතය
(II) රටේ පැවති ආර්ථික හා සාමාජික වෙනස්වීම්
(III) එදා පැවති ලෝක ප්රවණතා
මේ යුගය වන විට ප්‍රධාන දේශපාලන ධාරා දෙකක් පැවති අතර මේ දේශපාලන ධාරා දෙක ප්‍රධාන පවුල් දෙකක් කේන්ද්‍රෙකාට ගොඩනැඟී තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොරගොල්ල වලව්ව කේන්ද්‍ර කරගත් අතර, එක්සත් ජාතික පක්ෂය බෝතලේ වලව්ව කේන්ද්‍ර කරගත්තේය. රදළවාදයට හා වැඩවසම් ක්‍රමයට රට තුළ විරෝධයක් පැවතිය ද මේ වලව් දෙකේම ඒ නායකයන් වටා පොදු ජනයා ඒකරාශි වූහ. ඩී.එස්. සේනානායක මෙන්ම ඩඩ්ලි සේනානායක ද මහජන ප්‍රසාදයට හා ගෞරවයට ලක්වූ නායකයෝ වූහ. බණ්ඩාරනායක මහතා මෙන්ම සිරිමාවෝ මැතිනිය ද ඒ අයුරින්ම ප්‍රසාදයට හා ගෞරවයට ලක්වූහ.
කාන්තාවකට රටේ නායකත්වය භාරදීම සම්බන්ධයෙන් මහජන මතය කුමක් වුව බණ්ඩාරනායක මහතාගේ බිරිය ලෙස විශාල ආකර්ෂණයක් ඇය වෙත තිබිණි. බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු මුළු රටේම අවධානය හා අනුකම්පාව ඇය වෙත නැඹුරු වී තිබිණි. බණ්ඩාරනායක ප්‍රතිපත්ති සාමාන්‍ය ජනතාවගේ වැඩි ප්‍රසාදයකට ලක්ව තිබූ බව ද සිහිපත් කළ යුතුය. මේ අනුව මැතිනිය 1960 මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ දැඩි ආත්ම ශක්තියක් හා විශ්වාසයක් සහිතව එඩිතර කුල කාන්තාවක ලෙසය. එවකට සිරිමාවෝ මැතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනිය ලෙස ද කටයුතු කළාය.
එදා රටේ පැවති ආර්ථික තත්ත්වය එතරම් යහපත් නොවීය. ධාන්‍ය නිෂ්පාදනය පහළ බැස තිබූ අතර රටින් සහල් ගෙන්වීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි. බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට එරෙහිව ධනපති පන්තිය මෙහෙය වූ කුමන්ත්‍රණය තවදුරටත් ක්‍රියාත්මක විය. මේ අතර ගෝලීය වශයෙන් සමාජවාදී අදහස් මෙන්ම ස්වරාජ්‍ය සංකල්පය ද, ජාතිකවාදය ද ව්‍යාප්ත වෙමින් පැවතිණි. දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට එය විශේෂ විය. කෙසේ වුව මැතිනියට රටේ නායකත්වය භාරදීමට රටේ බහුතරය තීන්දු කර තිබිණි.
1960 – මහමැතිවරණය – ප්‍රතිඵල සටහන
පක්ෂය ජයගත් ආසන ගණන
එ.ජා.ප 30
ශ්‍රී .ල.නි.ප 75
සම සමාජ 12
කොමියුනිස්ට් 04
මහජන එ. පෙරමුණ 05
තමිල් පක්ෂය 16
දෙමළ කොංග්‍රසය 02
ජූලි 21 දා මැතිනිය, අගමැති පදවිය සඳහා දිවුරුම් දුන් අතර විරුද්ධ පක්ෂයේ නායක ඩඩ්ලි සේනානායක මහතා ඇයට සුබ පැතුවේය.
එක පැත්තකින් මැතිවරණය සාමකාමී යැයි වාර්තා පළවූ අතර තව පැත්තකින් හොර ඡන්ද දැමීමක් ගැන කොළඹින් වාර්තා විය. මැද කොළඹින් හා උතුරු කොළඹින් හොර ඡන්ද ගැන වාර්තා වූ අතර ඒ ගැන පොලිස් පරීක්ෂණ පැවැත්විණි. උතුරේ පැවතියේ වෙනම තත්ත්වයකි. කොළඹ දේශපාලනයෙන් අපට වැඩක් නැතැයි යන විරෝධයක් එකල දෙමළ ජනයා වෙතින් දැකගන්නට ලැබිණි. කොළඹ දී ජාතික නිදහස් දිනය සමරන විට යාපනේ හර්තාල් දැකගත හැකි විය. වතුකරයේ කම්කරු ප්‍රජාව සිය ඉල්ලීම් ඉදිරිපත් කරන්නට වූ අතර ඉන්දියාව ද ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබිණි. මේ පසුබිම තුළ දක්නට ලැබුණු තවත් ලෝක ප්‍රවණතාවක් වූයේ ජනතා නායකයන් ඝාතනය කිරීමය. මහත්මා ගාන්ධිතුමාගේ ඝාතනය, බණ්ඩාරනායක ඝාතනය, පැට්රික් ලුමුම්බාගේ ඝාතනය ඊට නිදසුන් ලෙස පවතියි. ප්රගතිශීලී කඳවුර මෙන්ම ප්රතිගාමී කඳවුර ද ශක්තිමත් විය.
මැතිනියගේ රාජ්‍ය පාලනය යටතේ සිදුවූ වැදගත් ජාතික වැඩසටහන් කිහිපයක් සටහන් කළ යුතුය.
(I) ජනසතු ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යෑම
(II) තෝරාගත් පාසල් රජය යටතට ගෙන නිදහස් අධ්‍යාපනය පුළුල් කිරීම
(III) කෘෂිකර්මයට ප්‍රමුඛ තැනක් ලබාදීම හා ගොවියාගේ ආදායම් මාර්ග පුළුල් කිරීම
(IV) අසල්වාසී ඉන්දියාව සමඟ මෙන්ම නැඟී එමින් සිටි චීනය සමඟ සබඳතා තරකර ගැනීම.
මැතිනිය ගෙනගිය විදේශ ප්‍රතිපත්තිය මැද මාවතේ ස්වාධීන එකක් වූ අතර රටට එය බෙහෙවින් වාසිදායක විය. අමෙරිකාව පවා සිය ආධාර වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන ගියේය. මේ අතර මැතිනිය ගත් එක්තරා තීන්දුවක් වැඩි දෙනාගේ විවේචනයට ලක් විය. එනම්, ප්‍රවෘත්ති පත්‍ර ආයතන දෙකක් රජයට පවරා ගැනීම සඳහා පනතක් ඉදිරිපත් කිරීමය. ඊට රට පුරාම බලවත් විරෝධයක් මතුවිය.
රන්ජන් අමරරත්න